
ඉංගිරිය හඳපාන්ගොඩ පාරේ තේ වතු යාය මැද්දේ පුංචි නිල් කැටේට වතුර තියෙන දර්ශනයකින් පුදුමයට පත් වෙච්ච මම අලුත් බ්ලොග් පිටුවකට අකුරු හෙව්වා. මම ජීවිතේදිත් අලුත් පාරක් හෙව්වා. ඒ පාර මට හමු උණා. කොළඹ ඉඳන් ගමේ යන්නත් ගමේ ඉඳන් කොළඹ එන්නත් අලුත් පාරක් හමුවීමේ කතාවේ කතාවයි මේ. මම හරි ම අකමැති පාරක් 122 හයිලෙවෙල් පාර. ලෙල්ලුපිටිය රත්නපුර කුරුවිට ඇහැළියගොඩ අවිස්සාවේල්ල වගේ කාර්යබහුල නගර මැද්දෙන් බොහෝ විට හිටගෙන, කොන්දොස්තරලගෙ ගෝරණාඩු මැද්දේ දාඩිය ගඳට නහය අඹරගෙන යන ගමන වගේ ම අවිනීත රියදුරන්ගේ ත්රස්තකාමී රිය පැදවීම් එක්ක එපාම වෙලා හිටියේ. බස් සංගීත විනාසය එක්ක හිටගෙන යන්නත් උනාම දැනෙන අපුල හැඟීම නිසා ම අලුත් ගමේ බස් සවාරියකට පුරුදු උණා. වෙනදා කෙළින් ම රත්නපුරෙන් හරි ලෙල්ලුපිටියෙන් හරි කොළඹ බස් එකට ගොඩවෙච්ච මම අද පානදුර බස් එකට රත්නපුරෙන් ගොඩවෙලා ඒ බස් එකේ ඉංගිරියට ඇවිත් ඉංගිරියෙන් කොළඹට ඒමේ කතාවක් තමයි මේ කියන්න යන්නේ. ඉතිං ඒ විදියට ම රත්නපුරට ඇවිත් එතනින් ඉංගිරියට ඇවිත් එතැනින් 125 ඉංගිරිය කොළඹ බස් එකෙන් මම එමින් ඉන්නේ දැන්. මොකක් දෝ විශේෂ හැඟීමක් මට දැනෙනවා මේ හඳපාන්ගොඩ හරහා ගමන. මට දැනෙන අවුල් සහගත 122 පාරේ වයිබ් එක අයින් කරගෙන අලුත් හැඟිමකින් අලුත් පාරක් තෝරගත්තා. ඉතිං මං ඒ හැඟීමට වහල් උනා. සාමාන්‍යයෙන් හැඟීම්වලට වහල් නොවීම උඩයි මිනිස්සුන්ගේ ජීවිත ලස්සන වෙන්නේ. ඒත් හැම හැඟීමකට ම නෙමෙයි. වැරදි යයි හිතෙන හැඟීම්වලට වහල් නොවී යන ගමන ලස්සනයි. ඉතිං...මගේ මේ හඳපාංගොඩ හරහා යන කොළඹ ගමන හරි හැඟීමකට වහල් වීමක්.

සමන් දේවාලය පහු කරගෙන ඉංගිරිය තෙක් වංගු ටික හරි ම ලස්සන ගමනක්. ගස් කොළන් අතරින් වංගුවෙන් වංගුවට හමුවෙන්නේ කලු ගඟේ ගමනත් එක්ක ම යන ගමනක්. මේ වංගු අතරේ මම මුලින් ම ගියේ බයික් එකේ. ඒ ජපුරේ වැඩ කරන කාලයේ. ලංකාවේ කඳුකර මිනිසුන්ගේ සංස්කෘතිය ගැන පූර්වගාමී පර්යේෂණයක් කරන්න ලැබුණේ ඒ කාලයේ. ඊට පස්සේ සබරගමුව සරසවියේ උගන්වන්න නිතර මොටෝ රියෙන් ගියෙත් මේ පාරේ. ඒත් ඒ රියැදුරු අසුනේ යාමයි බස් රථයේ අයිනේ අසුනක යන යාමයි සපුරා ම දෙකක්. ඉඳ හිට හෝ තනියෙන් යන ගමනකට බසය තෝරගන්න විශේෂ කැමැත්ත ඇත්තේ මෙනිසයි. ගලේ රොටි කඩේ පාර අයිනේ දේවාලය අයගමට යන පාලම පෙට්ටි කඩ වගේ අටෝරාසියක් දේත් පාර අයිනේ පළා වර්ගත් රාසියක් මේ හරියෙදි හමුවෙනවා.

සුමි කවියා කිව්වා වගේ අධිවේගී මාර්ග ගමන, මිනිසුන් අතරේ ගමනක් වෙන්නෙ නැහැ. අද මේ ලියමන ලිය ලිය යන අතරේ දැක්කා ජීවිතයේ දැක්ක ලස්සන ම පුංචි ළිඳ. හඳපාංගොඩ පහු කරගෙන පුද්ගලක තේ යායක් මැද නාන ළිඳක්. අඩි හතරක්වත් පළල නැති ළිඳක් ඔය. කවදා හෝ දවසක ඒ තේ යාය මැද පුංචි ළිඳෙන් නාන්න ඕන. ඒ තරමට ඒ ළිඳ ලස්සනයි. මම දවසක ඒ ළිඳෙන් පින්තූරයක් අරං පළ කරන්නම්. ඒ වගේ ම ජීවිතේ දුටු ළිං ගැන වෙන ම බ්ලොගයක් ලියන්න අදහසක් ආවා.
කාර් ගමනක් හා බස් ගමනක් කියන්නේ සපුරා වෙනස් ගමන් දෙකක්. හැම සතියක ම වගේ කිලෝමීටර් දෙසීයක්වත් වාහනේ ගෙනියන විට අවධානය තබාගත යුතු හින්දා බස් ගමනකින් දැනෙන නිදහස ලැබෙන්නේ නැහැ. ඉතිං බස් ගමනක සතුට දැනෙන්න නම් පුද්ගලික කාර් හීනවලින් හා හීනමානවලිං ගැලවෙන්න ඕන. සමහර අත්දැකීම් එක්ක බස්වල යාමට දැඩිව වෛර කරපු අත්දැකීම් අටෝරාසියක් මැද්දේ ආයෙත් බස් ගමන ගැන රොමැන්තික වෙන එක ලෝකයට හොඳ දෙයක්. මොක ද පොදු ප්‍රවාහනය ලෝකයේ හොඳ ම ප්‍රවාහන මාධ්‍ය බවට රහසක් නැහැ. අපි අපේ පොදු ප්‍රවාහනය සුන්දර කරන්න ඕන.
ඉංගිරියේ ඉඳං එද්දි හම්බවෙන හඳපාංගොඩ හොර කැලය කියන්නේ ස්වාභාවික රක්ෂිතයක් ම නෙමෙයි. මිනිසුන් ම වගා කරපු වනාන්තරයක්. ඒත් ඒ වනයයි ස්වාභාවික වනයකයි අතර වෙනස හොයාගන්න බැරි තරමට ස්වාභාවික ලස්සනකින් පිරිලා. ලංකාවේ වැවෙන උස ම ගස් වර්ගයක් වෙන හොර ගස්වලට මිනිස්සු දාපු නම නම් ලස්සන නැහැ. හොර ගසක බීජ පැතිර යාම කියන්නේ පුදුමාකාර ස්වාභාවික විස්මයක්. ස්වාභාවික හුළං පෙත්තක් විදියට කැරකෙමින් පහළට එන්නේ. දවසක් දා ආච්චි අම්මා හොර මල් කීපයක් ගෙනත් දුන්න මතකයකුත් තියෙනව ගෙදර එද්දි. අපි ඒ හොර මල අහසට විසි කරලා බිමට වැටෙන කම් බලා ඉන්නවා. උස හොර ගසකින් මීටර් දෙතුන්සියයක් දුරට තමන්ගේ බිජු පතුරවන්න මේ ගසට පුළුවන්. අපි පොඩි කාලයේ වගේ ම අදත් දැක්කොත් හොර මල අහසට විසි කිරීම කරනවා. ඇති තරම් ස්වාභාවක වනාන්තරවල ජීවත්වෙච්ච මට ඇතැම් වෙලාවට ස්වාභාවික වනය ඉක්මවා ගිය ලස්සනක් මේ හොර කැලයේ දී දැනෙනවා. මගෙත් දවසක අදහසක් තියෙනවා ලංකාවේ දේශීය මසුන් ආරක්ෂා කරගන්න දොළ පාරක් ගොඩනගන්න. මොකද අද දණ්ඩියෙක් බුලත් හපයෙක් නැති දිය පාරවල් තියෙන්නේ හැමතැනම තියෙන්නේ. ඒක හරි අධ්‍යයනයකින් පස්සෙ වෙන්න ඕන වැඩක් තමයි. ඉතිං...බස් ගමනට ඒ කතා මොට ද? ඉතා සුන්දර තේ යායවල් ගණනාවක් පහු කරන්න අපිට මේ පාරෙදි අවස්ථාව ලැබෙනවා. කුඩා තේ වතු නම් නඩත්තු කරන පාටක් නැහැ. හැබැයි වැවිලි සමාගම්වල තේ යායවල් ඉතා සුන්දරයි. අන්න ඒ වැවිලි යායක් මැද්දේ තමයි පුංචි ළිඳ තිබ්බෙත්.
හැන්දෑවේ බහින ඉරත් එක්කලා රෑ හතයි විස්ස වෙනකම් ඉංගිරියේ ඉඳන් කොළඹට බස් තියෙනවා. පුරං වෙච්ච වෙල්වලත් තියෙන ලස්සන විඳිමින් මේ ගමන මම ඔබත් එක්ක අද යන්නේ. නාගරිකත්වය අඩුවෙන් උරාගත්ත මිනිසුන් මැදින් වාහන තදබදයකින් තොරව යන ගමන පුරා ඇඟේ ලේ රත් වෙන්නෙ නැහැ. නිවෙනවා ඇරෙන්න. දුහුවිල්ල නැති ගස්වැල් පිරුණු මාවතක දෙපස කුඩා වෙල් යායවලින් හා කුඩා දිය පිරි වගුරුවලින් තෙමුණු බිම මැදින් දූරියන් ගස් අහසට එසැවී තිබුණු භූමියක් හරහා බසය ඇදෙන්නේ.
රත්නපුරෙන් රේල් පාර උදුරගත්තට පාදුක්කෙන් පස්සේ ලොකු දුරක් රේල් පාරත් එක්ක යන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම සරු බිමක් මැදින් යාමක්. බස් එකේ යන ගමන් කෝච්චි පාර විඳීමක්. කාශ්ටක වියළි කලාපයේ රේල් පාරකට වඩා හරිතවත් සිහිනයක් මැද ගමනක්. රියදුරන්ගේ තියෙන්න ඕන විනීතකම නැතිකමින් නිරන්තර පීඩා විඳින අපට කෝච්චි සංස්කෘතිය නිවීමක්. මතු දාක රත්නපුරයට කෝච්චි පාරක් පෙන්වලා ඡන්දය ගරාගන්න තැනට පත්වෙලා තියෙන්නේ කාලයක සිට. ඉතා ශක්තිමත් ආර්ථිකයක් ලබා දෙන රත්නපුරයට ලංකාවේ දේශපාලනය විසින් ලබා දුන්න දෙයක් නැහැ. අදූරදර්ශී ආත්මාර්ථකාමීන් ගැන කතා වැඩක් නැහැ. අපි යන්නේ බස් ගමනක් නිසා.

ගමන අතර දුටු කම්කරු මිනිසෙක්ගේ සිනහව මට අමතක කරන්න බැරි උනා. ලාල් හෑගොඩගෙන් ඡායාරූප ගැනීම ඉගෙනගෙන තිබ්බත් කැමරා ජීවිතයක් මට තිබ්බේ නැහැ. කැමරාවක් තිබ්බා නම් මට පුළුවන් ඒ මිනිසාගේ කම්කරු ජීවිතයේ වෙහෙස හරියට පින්තූරයකට ගන්න. වැඩිහිටියෙක් වෙච්ච ඔහුගේ සිහින් සිනහව සුන්දරයි. යම් කිසි කලාවක නිරත වෙන කෙනෙක්ගේ සිත හැම මොහොතෙම තියෙන්නේ ඒ කලාව එක්ක. ඒකත් එක්ක අලුත් දෙයක් කරන්න හෝ ලියන්න හැම මොහොතක ම ආශාවෙන් හිත නලියනවා. එවිට තමයි කෙනෙක්ගේ ප්‍රතිභාව ගොඩනැගෙන්නේ. ඇත්තට ම ඒක උපතින් ගේන දෙයක් ම නෙමෙයි. ආශාව විසින් ගොඩනගන්නක්. ඉතින් මට දැනෙන දේ, පින්තූර ගැන හිතන කෙනෙක්ට පින්තූරයක් දුටු ගමන් කැමරාව අතට ගන්න පෙළඹෙනවා. ඉතිං බසයේ යනකොට ඒ වගේ පින්තූර ගන්න කැමරාවත් මානගෙන තමයි ගමන යන්න ඕන.
හෙමින් ගමන තමයි ජීවිතේ ලස්සන ම ගමන. ජීවිතේ වෙතට නැමිලා බලන්න පුළුවන් වෙන්නෙ හෙමින් ගමනක දි. වෙනදා යන ගමනට වඩා පැයක් වැඩිපුර අරං මේ ගිය ගමන. අපි හුඟක් වෙලාවට කල්පනා නොකිරීම නිසා ම දුක් විඳිනවා. බස් එකක අයිනේ ෂීට් එකක පොතකුත් කියවගෙන සොබාදහම හා මිනිසුන්ගේ ජීවිතේ දිහා සමීපව බලාගෙන යන ගමනක් අපි හැමෝගෙම ප්‍රාර්ථනය වෙන්න ඕන නේ ද?. ඉතිං මේ බස් ගමන නැත්නම් ගස් බමන් - 1 බ්ලොග් ලිපිය අවසන් කරන්න යන ගමන් ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකක් ද ඔබ කැමතිම ගස් බමන.