Thursday, June 13, 2024

භාව කාව්‍ය සම්ප්‍රදාය - සිංහල කාව්‍ය සම්ප්‍රදායට අලුත් ශානරයක්

 


"සිංහල භාව කාව්‍ය සම්ප්‍රදාය" මවිසින් රචනා කරන ලද කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යයනයෙහි තවත් එක් කෘතියකි. මෙහි දී විශේෂ අවධානය යොමු කරන ලද්දේ පාලි ථෙර ථෙරී ගාථාවන්ගේ අනුබලය ලබා ගොඩනගන ලද ලාංකේය කාව්‍ය සම්ප්‍රදායක් පිළිබඳ විමර්ශනයක් කිරීම ය. විශේ⁣ෂයෙන් පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ රශ්මි භාව කාව්‍යයෙන් නාමකරණය කළ මෙම සම්ප්‍රදාය යටතට මහගමසේකර කවියාගේ ප්‍රබුද්ධ කාව්‍ය ද අයත් වන බව මෙම පර්යේෂණයෙන් පැහැදිලි කරයි. එසේම නන්දන වීරසිංහගේ සත්‍යකාම නම් වෙමි කාව්‍යය ද සුමින්ද ගුණරත්නගේ ලුම්බිණි කාව්‍යය ද මෙම ප්‍රවර්ගයට අයත් නිර්මාණ වෙයි. 



       මෙම කාව්‍ය මාර්ගයේ ආරම්භය ථෙර ථෙරණියන් සිය ගමනෙහි ඵලයප්‍රාප්ත වූ කල්හී ප්‍රකාශිත උදාන වන අතර මාර්ටින් වික්‍රමසිංහගේ පරිවර්තනය සිංහල පාඨකයා⁣ට මෙම ථෙර ථෙරී ගාථා රස විඳීමට අවස්ථාවක් ලබා දීමකි. එම ථෙර ථෙරී ගාථා හා සිංහල කවියේ භාව කාව්‍ය ශානරය මෙහිදී යෝජනා කිරීමට සම්ප්‍රදාය අධ්‍යයනයක් සිදු කර තිබේ.  සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිය උදෙසා සිදු කරන ලද අවසන් වසර පර්යේෂණය වූ මෙම කෘතිය සිංහල කාව්‍ය අධ්‍යයනය කරන රසිකයා අතට පත් කරන්නට ලැබීම සතුටකි.



  
සිංහල කවියේ ස්වාධීන පරිචය ලෝකය ඉදිරියේ ගොඩනැගීමට බෞද්ධ සංස්කෘතික සාරයෙහි පසුතලය ලබා ගත යුතු ආකාරය මෙමගින් සාකච්ඡා කෙරේ. විශේෂයෙන් පාලි භාෂාවෙන් සිංහලය පෝෂණය වීම හා එමගින් සිංහල භාෂාවට ලැබුණු අනන්‍යතාව භාව කාව්‍ය හරහා අත්දැකිය හැකි වෙයි.




මෙම කෘතිය සයුරී ප්‍රකාශනයක් වන අතර මේ සඳහා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාට තුති පුදමි.