Sunday, June 16, 2024

සිසිලසිනි දිය කදුර - පළමු කොටස

මම සොය සොයා ඇවිදිමින් සිටියෙමි. කලවිටක් කුඹුරක් පුංචි තේ වත්තක්. කුරුන්දක්. එය විශේෂයෙන් ම පුංචි කොටසක් බව ඔබට කිව යුතුයි. මට මහා පරිමාණ වගාවන් එපා වෙලයි ති⁣යෙන්නේ. ඒ ගොවිබිමේ මුදල් මිසක් කරපිංචා ගහක් හෝ පුංචි පැලක් ඇත්තේ නැහැ.

 හිත කොහේ හෝ ලස්සන දිහාවක නතර වෙලා තියෙනවා. මම හොයමින් ඉන්නවා මගේ හිත නතර වෙලා තියෙන දිහාව. මෙච්චර කඳුකර සීතකරයක ජීවත් වෙලත් මට තවමත් අහිමි වෙලා තියෙන සතුටු බිංදුව හොයාගෙන යද්දි මට තේරුණා. මිත්‍රයා . . . මට පුංචි උදැල්ලක් මග හැරිලා තිබුණා. ඒ උදැල්ලෙන් පොළොව බිඳින රිද්මය ඇඟ එක්ක බද්ධ වෙලා තිබුණා. දවසක් පුරා උදැල්ලෙන් පස් කොටන වැඩිහිටියෙක් දන්නවා උදැල්ලෙ එක අයිනකින් අතේ මස් පිඩුවලට නොදැනෙන්න පැය අටක් පුරාවට පස් ලිහ ලිහ ගන්න ඕන විදිහ. ⁣

         වතුර පාරක් අය්නක මං එනකං පුංචි දෙණි බිමක් බලා ඉන්නවා.  

               මේ බලං ඉඳිල්ල මට ඇතිවෙලයි තිබුණේ. මම පුංචි පස් තීරුවක් හොයන්  යන පාර වැරදුණු ගොවියෙක්. ඇත්තට ම මම ගොවියෙකුත් නෙමෙයි. ගොවියෙක් වෙන්න ආසාවෙන් ඉඳලා ලියන්න වෙච්ච පොඩි කෙනෙක්. ඉතිං ඔය අස්සේ මට මගේ මිත්‍රයා කතා කළා. 

"මට උඹේ ලෝකය හම්බ උණා. ඇවිත් ඒකෙ හුස්ම වැටෙනවද බලපං"

90 අවුරුද්දේ ඉපදිච්ච එකෙක් වෙච්ච මට 93 ඉපදිච්ච ඌ කතා කළේ  සියලුම තරුණ කුණුහරපවලින්

කියන්න අමතක උණා. මට කිසි කෙනෙක් කුණුහරපෙන් කතා කරන්නෙ නෑ. අඩු තරමේ විශ්වවිද්‍යාලයේ දී වත්. එහෙනම් මූට ඇති පරම අයිතිය මොකක් ද. ඒක දිග කතාවක්. මේ පරයා මට හම්බුණේ පත්තරේක දැක්ක කවියකින්. මගේ මේ වැදගත් කතාවට කුණුහරප නොදාන්නේ මේ කතාව වැදගත් විදියට ලියන්න ඕන නිසයි. ඒත් ඒ පරයා මට ඒකට ඉඩ දෙන්නෙ නැහැ.

      ඒ තරම් වැදගත් කුණුහරපවලින් මගේ ඔලුව පුරවන්න ඒ පාහරයා සමත් වෙලා හිටියා. කොහොම උනත් මම දැනගෙන හිටියා. ඌ මහ කවිකමක් තිබ්බ ගැඹුරු මිනිහෙක් කියලා. නැත්නම් මම ඌට එච්චර කෙළි කරන්න දෙන්නෙ නැහැ. 

        ගැහැනු ළමයෙක්ට තව ගැහැනු ළමයෙක් එක්ක පවත්වන මිත්‍රකම හරි ලස්සන දෙයක්. ඒ යාලුකම ඇතුළෙ ලස්සන ගවුම් ලස්සන මාල වලලු අරුංගල් තෝඩු හා ලස්සන සමනල්ලු කුරුල්ලො අම්මා තාත්තා වගේ මාර ලස්සන දේවල් ගැටගැහෙනවා. ඒත් මේ පරයයි මමයි අතර ගොඩනැගෙන කතාව ඊට සපුරා වෙනස්. 

       කියන්න බැරි උනා. කෙල්ලො අතර මාල වළලුවලට අමතර ව ඉතා ගැඹුරු විදියට ජීවිතයේ උස් මුදුන්වලත් සිටිනවා. චින්තනයෙන් ශරීර ශක්තියෙන්. 

         ඉතිං මිත්‍රයා...මේ කතාවෙ ලස්සන රොමාන්තික තැන් විතරක් ම මම කියන්න ද. නැත්තං දාර්ශනික පැත්තක් ලොකු කරං කියන්න ද? ඒත් නැහැ. මම ආසයි සිහින් හිතකින් මගේ කලවිටේ වතුර පාර ළඟ ඉඳගෙන  කකුල් ඒ වතුරට දාගෙන ඉර එළියේ දණ්ඩි තමන්ගේ බඩ පැත්ත ගහලා පෙන්වනවා බලන්න.  

දෙණියක උල්පතින් වතුර එන එකත් මහපොළොවෙන් පැල මතුවන එකත් පුංචි කවියෙක් කවි ලියන එකත් අතර කොයිතරම් සම්බන්ධයක් මම ගොඩනගන්න උවමනා ද. මගේ කලවිටේ මගේ පුංචි පැලේ පුංචි පහනක් වගේ ම විදුලියත් උවමනා වෙනවා. මොක ද මගේ එච් පී 630 ලැප් එකෙන් ලියන වැඩ ගොඩක් තියෙන බව. 

        ඉතින් මගේ කන්නෙලියේ හාදයට කියන්නේ උඹ හොයාගත් කලවිට හොයාගෙන මම ඉක්මනින් එන බව. එතකොට ඒ කලවිටේ ඉස්සෙල්ලා ම හදන්නේ වතුර උල්පත මතු කරලා වතුර පාදාගන්න එක. ඉස්සෙල්ලා ම වතුර තිබහ නැතිකරගන්න ඕන. තවමත් ආරම්භ නොකරපු කතාවක පළවෙනි පරිච්ඡේදය අකුරුවලින් පුරවන්න පෙරපාසල් ළමයෙක් වගේ වර්ණගන්වන්න පටන් ගත්තා. මං ආස හයිවේ එක අය්නෙන් මේ කලවිට හොයාගන්න. දැනට වැවිලා තියෙන ගොඩපර ගස් සහ පුරං කුඹුරු කෑල්ලත් පුංචි තේ වත්තත් මැද සිමෙන්ති බිංදුවක් නැති ගෙයක් ගොඩනගාගන්න. 

              ඉතිං මහත්තයෝ. උඹ උඹේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔහේ ගෙවලා දාලා හිත පරිස්සං කරගත්තා. උඹ මතක ඇතුව එක දෙයක් කළා. ඒ තමයි බාසාවයි සාහිත්‍ය යි ඉගෙන ගන්න එක නැවැත්තුවා.  මට ඒකට වාසනාව තිබ්බෙ නෑ.  කවියෙක් වෙන්න හිතං ආපු ගමනට හෙණහුරා  පාත් උනේ කොයිතරම් වේගයෙන් ද. ඉතිං පාහරයො. උඹ බේරුණා. මම අහු උණා. තොට වමනේ කරලා වමාරන්න පුලුවන් වගේ ම මටත් පුලුවන් නම් ඉගෙනගත්ත දේවල් වමාරලා මොකුත් නොදන්න තොත්ත බබෙක් වගේ ලියන්න. ලස්සන සෘතු විපර්යාසයන් ගැන ලියන්න. අන්න  එදාට තමයි මගේ සිහිනය.

     ඒත් මම තවමත් ලස්සන සෘතු ටික පිළිවෙලට ලියන්න දන්නෙ නැහැ. හිම වැටෙන්නෙ නැති ලංකාවක මේපල් පත්‍ර නැති ලංකාවක සිසිර හා මල් පිපෙන වසන්ත සෘතු නැති ලංකාවක මට හැදෙන්න වැඩෙන්න උනා. ඒ හැදෙන්න වැඩෙන්න වෙච්ච නිසා මට ලස්සන කතා ලෝකය නැති උනා. මම දන්නෙ මගේ පුංචි කලවිට  ගැන විතරයි. 

          ඉතිං මිත්‍රයා කොහේ ගියත් තමන්ගේ යක් දත් දෙක වහගත්ත අහිංසක පූසෙක් ඇවිත් උගේ නැට්ටෙං මගේ ඇඟ පිරිමදින ගමන් අවධානය ඉල්ලනවා. ඕක සපුරා වෙනස් මගේ ම පූසාගේ අවධානය ගැනීමේ න්‍යාය. කොහොම ද කිව්වොත් ඌ කෙලින් ම මගේ ඇඟට නැගලා උගේ ඉදිරි නියපොතු ඇඟ ඇතුළට හෙමින් බස්සන්න හදනවා. ඒ නියපොතු ඇඟට බස්සද්දි ආයි ආයි ආයි.....කියලා මම කෑ ගහනවා බලන්න ඌ පුදුම ආසයි. ඌ එහෙම කරන්නේ දීලා තියෙන මිනිස් නම හින්දා වෙන්න ඇති. මුළු ගම ම දන්නවා දිමුතු කියන පූස් හාදයව.කොහොම වෙතත් මගේ ආදරණීය පූසා උගේ සුපුරුදු ගමෙන් ගලවලා කලවිටට ගෙනියන්න  පුලුවන් වෙන එකක් නැහැ. ඌට දුර ගමන් පුරුදු නැහැ. 

       ඉදිරියෙදි මට පැලට මැටි ගහන්න  වරිච්චි බඳින්න වහල හදන්න ලී කපන්න වගේ විසාල වැඩ කොටසක් තිබෙන බව දැනෙමින් තියෙනවා. ජීවිතේ එක කාලයක අනිවාර්⁣යයෙන් මේ ගමන යා යුතු බව මම දන්නවා. ඉතිං කාව්‍යක්කාර නරුමයෝ.  මේ වචනවල තිබෙන බර වෙනස් විදියට උඹට පවරන ගමන් මා වෙනුවෙන් හතර දිග ඇවිද හොඳ පස් කොටසක් හොයා ගන්නට උඹට හැකි වීම. නමුත් දැන් මට තියෙන ගැටලුව මගේ හිතේ ගොඩනැගී තියෙන පුංචි ලෝකය  එතැන ගොඩනගන්නට පුලුවන් වෙයි ද කියන එක. මම වෙනුවෙන් කාටවත් තීරණ ගන්න අමාරුම උනත් ටිකක් හෝ තීරණ ගන්න පුලුවන් කෙනත් උඹම බව තරහෙන් කියන්නට ඕන.