Sunday, June 9, 2024

කඳුකරයක . . මුදුන්කර...ඈත ගෙදරින්....

මගේ ගෙය පිහිටා තිබුණේ සබරගමු කඳු වැ⁣ටියේ ම ය. සමනල කන්ද පරිවාර වුණු තවත් කඳු වැටියක් අපේ කඳු මුදුන වීය. සැබෑ ලෙස ම කීවොත් සමනල කන්ද තරම් හෝ බෑණ සමනල කන්ද තරම් අපේ කන්ද උස නැත. අපේ කන්ද යැයි මගේ කන්දට පැවමීමෙහි යම් ආත්මාර්ථයක් ඇත්නම් ඊට සමා වුව මැනවි.   බොහෝ අයගේ හුදෙකලා සිහිනය තිබුණේ උස් මුදුන් කඳුකරයක. හුඟාක් අයගේ හීනවල තියෙන කන්ද මුදුන ඇත්තට ලස්සන වන්න නම් අභියෝග රැසක් වෙයි. 

 දුර.....ඈත.....කන්ද මුදුනක පිහිටා තිබෙන ගෙදරට යාමට හොඳ යතුරුපැදි පුහුණුවක් අවශ්‍ය ම වෙයි. ඔබට කාර් රථයකින් ඒ කඳුකර දිවියේ සැමදා යා නොහැකි ය. පුංචි කැඩිච්ච බයිසිකල් කට්ටක් අරගෙන කඳු මුදුනේ සිට ක්ල්ච් එකෙන් යන ගමනක් ය එය. ක්ල්ච් බැලන්ස් බයිසිකයක ගමනක් යාම අලුතින් කතා පොතේ පරිච්ඡේදයක මම විස්තර කිරීමට නොසිතමි. යතුරුපැදි බොහෝ අයට පැදිය හැකි ය. හරියට බ්‍රේක් හා ටයර් හොඳ නැති මේ බයාසිකල් කබලක ඒ සිහිනය වෙත යන බහුතරයකගේ ගමන් සගයා වෙයි.

මේ කතාවේ තරුණ මානවකයන් දෙදෙනා දුශ්කර බව තවදුරටත් ඉගෙනගන්නට උත්සාහ ගන්නෝ නොවන්නේ ය. ඔවුන් අකුරු ගැන කතා කරන්නට පෙර කතා කළ යුතු සියලු බාදක බිඳ කඳුකරයෙන්  ආවෝ ය. 

ඉතින්....දුර......

ඈත.......

කන්දක් මුදුනේ......

තියෙන පුංචි......


කියන විශේෂණ සේරම තමන්ගේ නමට ම ලියාගත් කඳුකරයක ඒ නිවහන පිහිටා තිබුණා. ⁣ඉතිං එහෙම ඉඳලත් තැනිතලා තෙත් බිමක් කලවිටක් දෙණිකඩක් ගොඩැල්ලක් මොකට ද කියලා කෙන කෙනා හිතන්න පුලුවනි. ⁣එහෙම තමයි. මිනිස්සුංගෙ ආසාවල්. හැමදාම තේ වතු දැකලා දැකලා එපා වෙලා අන්තිමේදියි මං තේරුං ගත්තෙ. 

මට ගොයං ගහ මග හැරිලා කියලා....

එහෙමෙයි කියලා ගොයම් ගහ විතරක් ම මට ළඟට ගන්න බැහැ. තේ ගහත් මගේ ළඟට ම ගන්න ඕන. 

ඉතිං මගේ සුන්දර ගොයම් ගහ ශිෂ්ටාචාර කීපයක සිට පැරණි මිත්‍රයකු වගේ වී ඇටයක් අස්සේ හැංගිලා ඉන්න බව මං දැනං හිටියා.  

මිනිහා හැමදාම හිතුවෙ මං තේ දලු කඩන දිහාම බලං ඉඳලා සතුටු වෙයි කියලා. ඒක නම් වානා කියලා තමයි මහත්තයෝ කියන්න වෙන්නේ. මගේ කන්නෙලියේ තරුණ කවියා මට අධිවේගය අය්නෙන් සිහින කුඹුරක් හොයලා තිබ්බා. ඒ මගේ කලවිට දෙණිය නැත්නම් ගොඩැල්ල බව ඔබ දන්නවා. ඉදිරි දවසක සිහිනයෙන් මං ඇහැරෙන්නේ ඇත්ත භූමියක ඉඳලා බව මම් දැනගෙන හිටියා.

මනුස්සයෙක් බොහෝම කාලයක් කතාවක් ලියන්න තමුන්ගේ පෑන ලෑස්ති කරගෙන හිටියා. විශාල සැලසුම් වගේ ම විශාල මහන්සියක් කැපකරන්නත් බලාගෙන හිටියා. ඒක එළි දක්වන උත්සවයත් හිතින් මිනිහා සැලසුම් කරලා තිබුණේ. අපොයි වෙච්ච දෙයක්. ඒ කතාව ටික දුරකින් නැවතුනා. ඒ වගේ කතා දහයක් දොලහක් මග නැවතුනා ම තේරුං ගත්තා මිනිහට කවියෙක් වෙන්න මිසක් නවකතාකාරයෙක් වෙන්න බෑ කියලා. ඒත් එක දවසක මිනිහගේ පෑන මිනිහව ලියන්න පටං ගත්තා. ඒ කතාව මිනිහව කියවන්න පටං ගත්තා. විටෙක මිනිහට රිද්දන්නත් පැරණි තුවාල පාරන්නත් පටං ගත්තා. එදා සිට මේ දක්වා ගනිපු උත්සාහ දියට කැපු ඉණි බවට පත් උණත් අලුත් කතාව එහෙම උනේ නෑ. හැබැයි ඒ මහ දරුණු කතාව මේ මනුස්සයව ලියෙව්වා. ඉතිං මිත්‍රයා... මගේ පැමිණිම උඹ බලාගෙන සිටින බව මම දන්නවා. මම අධිවේගයට නැග ඉමදූවෙන් හරි කොක්මාදූවෙන් හරි බැහැල භූමියට එන දවසට අරගෙන එන්න හොඳ වක් පිහියක් ලෑස්ති කරගන්න ඕනා නේ ද? 

           පිහියක් ගේන්න මං ගියේ බෙලිහුල්ඔයට. මං දන්න පරණි ම කම්මල්කාරයො එහෙ ඉන්නවා. අවුරුදු හයදාහකට එහා යකඩ නිස්සාරණය කරන යකඩ උඳුන් හිමි මිනිසුන්ගේ සිට පැවතෙන මේ අඩවිය නියම යකඩයන්ගෙන් නිර්මාණය වෙලා තියෙනවා. වක් පිහියක් ම උඹට ඕන උනේ ඇයි. ගන්න පුලුවන් නේ උඹට කැත්තක්. ඔව් මිට දිග කැත්තක්.  ඔව් මං දන්නවා. ලේසි නැහැ උඹව පරද්දන එක. අනවශ්‍ය තරමට ප්‍රායෝගික ජීවිතෙයි කල්පනාකාර ජීවිතෙයි දෙක ම උඹ අත්විඳලා තිබුණා. සිමෙන්ති කොට්ට දෙකක් කොන්ක්‍රීට් එකක් තනියම අනන්න වගේ ම උඹේ අතට හොඳට පෑනත් හුරුවෙලා තිබුණා. ඒ හන්දා උඹ සාමාන්‍ය මිනිහෙක් උනේ නැහැ. 

              මං කම්මලට ගියාම උන් හිතුවෙ මම ළපටි පිහි ගැන නොදන්න පිටරැටියෙක් කියලා. හෙමින් හෙමින් මං පිහියක් තේරුවා. තට්ටු කළා. ත⁣ලේ කෙළින් ද කියලා බැලුවා. මාත්තු බැලුවා. පන්නරේ බැලුවා. බර බැලුවා. මටවත් කියන්න නොතේරෙන හොඳ පිහි පාවිච්චි කරපු මතක එක්ක පිහියක් තෝරාගත්තා. අමු යකඩ ගෙඩිවලින් හදපු කැති පාවිච්චි කරන උන් අතරේ පන්නරේ තියෙන හොඳ පිහියක් හොයාගන්න අමුතුවෙන් ඉස්කෝලෙ යන්න ඕන නැහැ.

               මම දැකලා තියෙනවා. කිසිම හැඩයක් නැති පිහියක් ටික දවසකින් පිහියේ හොඳ ම නැම්ම වෙච්ච වක්ක ළඟන් කැඩිලා යනවා. හොඳ ම පිහි තෝරන්න දන්න මිනිහත් මාත්තු ගිය පිහියකට අහුවෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක පිහිය හදන මිනිහා හුඟක් විට දන්නවා. ඒ නිසා හොඳ පිහියක් මිනිහෙක් ගනිද්දි නරක පිහි කීපයකට අහුවෙන්න පුළුවන්.  ඒත් හෙමි හෙමින් පිහියක් ගෙව ගෙවා පාවිච්චි කරන මිනිහා දන්නවා මේ පිහිය මොන වගේ ද කියලා. හොඳ පිහියක් ගොවියෙක්ගේ අතේ අවුරුදු පහක්  උනත් තියෙන්න පුලුවන්.

            පිහි ගැන මේ තරම් මම කියන්නේ ඇයි ද කියල ද හිතන්නේ. ඒකට හේතුව තමයි පිහියක තියෙන වැදගත්කම උඩයි කලවිට සාරවත් ද අසාරවත් ද කියන එක තීරණය වෙන්නේ. මං පිහියේ මිල ඇහුවා.  මිල සාධාරණයි. ඒත් මට තේරුණා මට කම්මල පෙන්නපු මිනිහා අත යටින්  ගානක් තියන් කිව්ව බව. මං එන්නං කියලා ඒ කවුරුවත් නොපෙනෙන දුරකින් තිබ්බ කම්මලට ගියා. මං පිහියක් තෝරාගත්තා. නැහැ. පිහිය මාව තෝරා ගත්තා.

       කතාවක් ලියාගෙන යද්දි මිනිහෙක් ඒ කතාව ලියනව ද. නැත්නම් කතාව මිනිහව ලියවනවා ද කියන ප්‍රශ්නය එනවා. කිකිලි ද බිත්තරේ ද මුලින් ආවෙ කියන ප්‍රශ්නය ම වගේ උනත් මෙතන වෙන කතාවක් තියෙනවා. මිනිහෙක් ලියන්න ගන්න බාසාව තීරණය කරන්නේ ඒ මිනාහ ද. එහෙම හැම මිනිහට ම ලියන්න පුළුවන් නම් හැමෝම ලියාවි නේ ද. ඒක එහෙම නැහැ. බාසාව තමයි මෙතන ප්‍රධානියා.  බාසාව තෝරගන්නවා මම කාගෙන් ද එළියට එන්නේ කියලා. මිනිහා තමයි බාසාව තමන්ගේ අවතාරයක් කරගන්නේ. මෙච්චර දවසක් කතා ලියන්න කොච්චර හදලත් ලියාගන්න බැරිවෙච්ච දේවල් කිසිම උත්සහයක් නැතිව ලියවෙනකොට ඕන ම එකෙක්ට තේරෙනවා බාසාවෙ තියෙන කුපාඩි ගතිය. ඒ කිව්වේ. කිපෙන ගතිය. බාසාවක් හරියට සද්ධන්ත ඇතෙක්ගේ මද වැගිරෙනව වගේ. ඇතෙක් කොච්චර සද්ධන්ත උනත් උගේ මද බේරෙන එක නවත්වන්න ඌට බෑ. ඒ වගේ තමයි බාසාව. ඌට උගේ කුපාඩි ගතිය නවත්වන්න බෑ. එයා ලියන්න ගන්නවා.  

      ගෙදර පූසා ඕනෑ ම විටෙක ඔබට වඩා පිරිසිදු ව සිටින බව හා ඌව වඩාගෙන බිම තැබූ  පසු අපේ අත්වලින් වූව අපිරිසිදු වූ බව හඟවන්නට කොතරම් නා ගන්නවා ද. එහෙව් පූසෙක් හැමදාම මගේ කාමරයේ සිටිමින් මා තනියෙන් නොවන බව කියයි. ඉතින් මේ හැන්දෑවේ ඉර රාස්සිගේ අව්ව ගිල්ල මොහොතේ කඳුකරයේ සිට ඈත ඉමදූව දෙස බලා සිටිමි. අපට ඉමදූව දකින්නට තබා ඒ පළාතවත් නොපෙනෙන බව සැබෑ ය. එහෙත් මහා කඳු උදේ හවස නැග පුරුදු මම තවදුරටත් තැනිතලාවක ඇති පුංචි ගොඩැලි ඉමදූව ගොඩැල්ලට ආසා කරමි. ඒ පාවුල ඇති පුංචි ගොයමට ආසා කරමි. මම කවියාට කීවා. මතක ඇතුව හොඳ උල්පත් වතුර පාරක් හොයන්න කියලත්. විශේෂයෙන් වහින කාලයට හොයන්නට එපා කියලත් කීවා. ⁣කවියෙක් උනත් අනුන්ට අහු වෙන මෝඩයෙක් නොවෙන බව කවියන්ට ම ගෞරවයෙන් කියන්න ඕන.