Friday, June 7, 2024

කුමාරදාස වෙත

හිමාලයේ උස් මුදුනේ සිට ලංකාද්වීපයේ උස්ම කඳු මුදුනකට කතා කරනවා වැනි හැඟීමක් මවෙත දැනෙයි. හිතාදර කුමාරදාස කවියාණෙනි. ඔබ ලංකා රාජ්‍යයේ කිරුළු පලන් බව ඇසීම මට කුඩා සතුටක් ද මහා වේදනාවක් ද රැගෙන ආවා. කවියෙක් රාජ්‍යත්වයට පත් කිරීම හොඳ ද නරක දැයි මා දන්නේ නැහැ. එනමුත් ඔබ වැනි කවියෙකු ලෝකයට නැති කිරීමට මා කැමති නොවන්නේ.

මේ හසුනක් ලැබෙන්නට යන කාලය අනාගතයේ අඩු වේවි. ඔබ මෙහි ගත කළ කාලයේ අපගේ කතා බහ කොතරම් අපේ අදහස් සුවිපුල් කළා ද? ඉතා සුන්දර රාත්‍රීන් විවිධාකාර වනස්පතීන් සමග අප ගත කළා නොවේ ද. ඔබ ලියූ කවිත්  මා ලියූ කවිත් එකිනෙක කියැ වූ ඒ සුනදර රාත්‍රීන් කොතරම් අප ප්‍රබෝධමත් කළා නොවේ ද.

මා අසා තිබෙනවා ඔබේ පියාගේ අය්යා පිළිබඳ ව. ඔහු සිතුවමට බොහෝ ප්‍රිය කළ සහෝදරයකු බව මා දන්නවා. මහා සීගිරි ආලකමන්දාව ලෝකය පුරා ජනප්‍රියයි. එවැනි කලා ගෘහයක් ඉන්දියව ද ප්‍රාර්ථනා කරන දෙයක්. 

අප විවිධ කාව්‍ය කොතරම් ප්‍රමාණයක් ලියනවා ද. ඒ හැම කාව්‍යක ම තැවරී ඇති වේදනාවන් කතා කිරීමට අපට තවත් කවියෙකු සි⁣ටීම කොතරම් හොඳ ද. මේ රාජ්‍යන්වලට කවීන් පහළ වීමේ දුර්ලභ බව කවුරුත් දන්නේ නැහැ. කවියෙකුගේ බල පරාක්‍රමය හා එහි වටිනාකම මිනිසුන් දන්නවා නම් ඔවුන් එරෙහි වන්නේ  හා යුධ වදින්නේ කවිකම හා සමඟ. හිතවත් කුමාරදාස...අප අතර ඇති මහා යුද්ධය කවිකම හා සමග අප කොතරම් ඊර්ෂ්‍යා සහගත වනවා ද?

ඔබගෙන් ලෝකයට අලුත් සිතුමක් නිර්මාණය කරන්නට වෙහෙසෙන විට මම දනිමි. ඔබ කොතරම් දෙගිඩියාවටත් අවිනිශ්චිතතාවටත් ලක් වනවා ද කියා. කවියෙකු හා නිර්මාණකරුවෙකු තවමත් ලියා අවසන් නොකළ නිර්මාණාත්මක යමකට ප්‍රතිචාරයක් නොලැබුණු විට දන්නේ නැහැ එහි අගය පිළිබඳ. ඔහුට තක්සේරුවක් ප්‍රතිචාරයක් නිරන්තර බලාපොරොත්තු වනවා ඒ පිළිබඳ ව. 

ඉතිං කුමාරදාස. ඔබ තව කොපමණ කාලයක් ඔය කටු ඔටුන්න දරාගෙන සිටීමට අපේක්ෂා කරනවා ද.  ඉතා ඉක්මනින් ඔබ ලිවීම් කටයුතු කෙරෙහි ම සිත යොමු කරනවාට මම සතුටු වෙමි. මිනිසුන් සිටින්නේ නිර්මාණ නොමැති වීමෙන් නිර්මාණ හිග වී. මේ ලෝකයට අර්ථ සපයන්නට කවීන් නොසිටියොත් ඔවුන් ඔවුන් මත ම අවසන් වෙනවා. ශිෂ්ටාචාරය අවසන් වන්නට පටන් ගන්නවා. කවියා භාෂාව හදන්නට උත්සාහ ගැනීම මත තමයි ලෝකය තවදුරටත් තීරණාත්මක ව පවතිනුයේ.

මා විටින් විට ලියනුයේ ඔබටයි. ඔබ ද මාගේ පරිකල්පන ලෝකය පෘථුල කරනු ඇතැයි මා සිතනවා.