Wednesday, June 5, 2024

කාෂ්‍යප නවකතාව - 1 කොටස

           

මහානාම හිමියෝ උදෑසන පුංචි ධාතුසේන කුමාරයාත් රැගෙන ඇල වෙතට යාමට පිටත් වූයේ පුංචි කුමාරයා තාත්තාත් අම්මාත් ඉල්ලමින් හඬන දුක්වන වේදනාව ටිකක් හෝ අඩු කරනු පිණිස ය. වතුරත් පුංචි මාලු පැටවුණුත් දක්නා විට ධාතුසේන කුමාරයාගේ වේදනාව අඩු වෙයි. පුංචි දණ්ඩි මාලුවන් සිය ඇලපත පෙනෙන්නට පසෙකට හැරෙද්දී දිලිසෙන අයුරු දකින්නට කුමාරයා පුදුමාකාර ආසාවකින් පෙළෙයි. මේ පුංචි කුමාරයා රාජ කුමාරයකු බව දන්නේ තමන් වහන්සේ පමණකි. කුමරුට ආරක්ෂාව සහ විශේෂත්වය ලබා දීම සිදු කළ යුතුවා මෙන් ම ලංකා රාජ්‍යයේ කිරුළ හිමි වන්නේ ධාතුසේන  කුමරු බව කිසිවකුට නොදැනෙන්නට කුමරු ආරක්ෂා කළ යුතු ය.  

          පුංචි කුමාරයා උදෑසන පිනි මතින් පය තබමින් එයි. ඔහුගේ ළමා ගමන පියෙකුටත් මවකටත් සිත කොතරම් පුරවන සුළු විය හැකි ද? දරුවකු දකින දෙමාපියන්ගේ සිතට දැනෙන සන්තෝෂය මේ යැයි භික්ෂුවකට කිව හැකි ද? කුමාරයා එක වරම නැවතී කුඹුරේ ගොයම් පැළයක් දෙස බලා සිටියි. මහානාම හිමියෝ නැවත ආපසු ගොස් කුමාරයාගේ අවධානය ගත්තේ කුමක්දැයි බැලී ය. 


               අහා...ඒ බත් කූරෙකි...


ගොයම් පැලයක් උඩ සිටි බත් කූරා ඕනෑ ම දරුවෙකුගේ අවධානය ඉතා ඉක්මනින් දිනා ගන්නට සමත් වෙයි. මේ පුංචි පුංචි පුදුමයන්ට දරුවකුගේ සිත ගැනීමට ඉතා ඉක්මන් හැකියාවක් තිබේ.  සෙමින් සෙමින් අත දිගු කරත් ම උහු ඉගිළ වෙනතක ගියේ ය.

  ඒ බත් කූරෙක්. 

ගොයම් ගහ උඩ ඉන්න හින්ද ද හාමුදුරුවනේ ඌට බත් කූරා කිව්වේ..?

අහා ....මේ සිඟිත්තාගේ තර්කන ශක්තිය හරි ම අපූරුයි.

ගොයම් ගස බත් ගස නොවේ ද? එසේ නම්....මේ ගොයම් ගස උඩ සිටි කූරා බත් කූරා වී ද? 

ඒක නම් මමත් දන්නේ නැහැ. 

ලොකු හාමුදුරුවො නොදන්න දේවලුත් තියෙනව ද?

අපොයි ඔව්.

හැබැයි තාත්තාත් අම්මාත් කිව්වේ ලොකු හාමුදුරුවෝ නොදන්න දෙයක් නැහැ කියලා.

ආ එහෙම කියන්නේ හුඟක් දේවල් දන්නවාය කියන්න....

හැබෑට...

අද උදේ ම ඇලේ නාන්න ලොකු හාමුදුරුවන්ට ආස හිතුන ද?

නැහැ. පුතාව එක්ක එන්නයි ඕන උනේ....

ඇයි මුළ රෑම මම අඬපු නිසා ද?

මහානාම හාමුදුරුවෝ කුමාරයාගේ දෙඅත් දෝතින් අල්ලා ගත්තා ය. මේ තමන්ගේ අක්කාගේ පුංචි පුතා ය. ඔහුට තමන් මාමා හාමුදුරුවෝ  ය. දරුවෙකුට තබා වැඩිහිටියෙකුටවත් තමන්ගේ තාත්තාගෙන් මිදී වැඩි දවසක් දුරක සිටින්නට නොහැකි ය. තමන්ගේ අම්මා දැක බලා ඇප උපස්ථාන කිරීමට නිරන්තරයෙන් උන් සිටිනා තැනකට යාම මහානාම හිමියෝ ද සිදු කරති. එසේ තමාත් කරන කලට මේ පුංචි කුමාරයාට අන් කවරක් කියම් ද?

අපි අද දණ්ඩි බලමු. 


උන් අද නටයි ද ලොකු හාමුදුරුවනේ.

දණ්ඩි හැමදාමත් නටනවනේ. උන්ට නැහැනේ මිනිස්සුන්ව බලාගන්න.

ඒ කියන්නේ අපිට මිනිස්සුන් ව බලාගන්න තියෙනව ද.

ඔය තේරුණේ පුංචි කුමාරයට....

මෙතැන නාන්නට ඇත්තේ කුඩා ගල් පොත්තකින් අවහිර වී සැදුණු කඩා ජල  තටාකයකිනි.

මහානාම හාමුදුරුවන් හා ධාතුසේන කුමාරයා අතර ඇති සුහද බව සමීප බව වචනවලට  ගැනීමට හාමුදුරුවන්ට නොහැකි ය. තමන් භික්ෂුවක් බව කියන තැන සිට උන්වහන්සේ කුඩා කල සිට කුමාරයා හා පවත්වා ගත්තේ දූරස්ථ සබඳතාවකි.

කුමරුන්ව ආක්‍රමණික මංකොල්ලකාරීන්ගෙන් බේරා ගැනීමට උපාය උපක්‍රම බොහෝ ප්‍රමාණයක් ගැනීමට සිදු වන බව උන්වහන්ටසේ දන්නා සේක.

පිරිවෙනෙහි සිටින අන් සමෙණේර වහන්සේලා අතර කුමාරයා තැබීමට ද නොහැකි ය. කුමාරයාගේ විශේෂතාව කුමක් දැයි ආරංචි උව හොත් වනුයේ බලවත් විනාශයකි.

අද අපි පීනන්න ඉගෙන ගනිමු. මහනාම හාමුදුරුවෝ පුංචි ගං දියේ පිහිනීම කුමාරයාට පුරුදු කරයි.



අපිට වතුරක හුඟක් වෙලා ඉන්න උනොත් දියේ ගිලෙන්නේ නැති වෙන්න නම් අපි උඩුබැලි අතට ඉන්න ඕන. තමන්ගේ නහයයි කටයි විතරක් වතුරෙන් උඩට අරගෙන අත් දෙකින් වතුරට මාලුවෙක් වගේ යටි පැත්තට ගහන්න ඕන. අහස දිහා බලාගෙන දගලන්නේ නැතිව. 

ඕන්න මම කොන්දෙන් අත තියන් ඉන්නවා. කරමු බලන්න....

දෙතුන් වරක් කලබලෙන් කළ ඉගෙනීම ටිකකින් ධාතුසේන කුමාරයා ඉගෙන ගන්තේ ය. 

ඔය විදියට වරුවක් උනත් ඉන්න පුුුළුවන්. තමන්ගේ ශක්තිය වියදම් කරගන්නේ නැතිව මේ විදියට ඉන්න පුළුවන්. හරියට ම කිව්වොත් තමන්ගේ අත්ලෙන් විතරක් පුංචි තල්ලුවක් දුන්නොත් ගං දියේ ඉන්න පුළුවන්. හැබැයි මුහුදෙ නම් එහෙමවත් ඕන නැහැ. වැඩි රැල්ලක් නැත්නම් නහයයි කටයි විතරක උඩට තියන් ඉන්න පුළුවන්. මතක ඇතුව නලල වතුරෙන් උස්සන්න ඕන නැහැ. එහෙම කළොත් වැඩි ශක්තියක් උවමනා වෙනවා. 

හරි දැන් අපි යටි අතට පීනමු. අපිට වේගයෙන් පීනන්න උනොත් වැඩියෙන් ම උවමනා වෙන්නේ මේ ක්‍රමයට පීනන එක. මම බඩ යටින් අත තියන් ඉන්නවා. අත් දෙකින් වතුරට ගහනවා වගේ අත් කරකවමින් ඉස්සරහට ඇදෙන්න ඕන.

ඔව්....කුමාරයා සෙමින් ඉගෙන ගනියි. මේ වයසේ දී ඉගෙන ගන්නා බොහෝ දේ ඉක්මනින් ධාරණය වෙයි. තනියම ඉගෙනගන්නට හැරිි මහානාම හාමුදුරුවෝ සිවුරු සෝදා අව්වේ දමා තමාද පැන් පහසු වී ගත් සේක. එහාටත් මෙහාටත් පනිමින් පුංචි කුමාරයා නොබිය ව පුංචිකමට තමාගේ ගෙල තෙක් ඇති වතුරේ  පීනමින් සෙල්ලම් කරයි. මාලු පැටවුන් සොයමින් දිය යට එබෙයි.

පුංචි ළමයෙකුගේ ලෝකයේ මාලුවා අහසේ පාවෙන සරුංගලයකටත් වඩා විශ්මසහගත ය. මාලුවන්ගෙනුත් වතුරෙනුත් සන්තෝස වන දරුවා ලෝකයේ බොහෝ දෑ ඉක්මනින් ඉගෙනගන්නා තත්ත්වයට පත් වෙයි. 

කුමාරයා නා පිරිසිදු වූ පසුව දෙදෙනා නැවත විහාරයට ආවේ වෙල අද්දර දිගේ ය. අටෝරාසියක් ප්‍රශ්න වැලකින් හාමුදුරුවන් ව හෙම්බත් කිරීමට ධාතුසේන කුමාරයා සමත් ය. ⁣කුමාරයා තවත් තමන් ළඟ ම තබා ගැනීම ඒ තරම් නුවණට හුරු දෙයක් නොවේ. උන්වහන්සේ විසඳුම් දෙකක් කල්පනා කරමින් සිටියේ ය. ඉන් එකක් වන්නේ තමාගේ රැකවරණය ඇති නිවසක රැඳවීම ය. එහෙත් එය යම් අවධානම් කටයුත්තකි. ඊට මුහුණ දීමට සමත් පවුලක් හා ශක්තියක් ඇත්තෙකු විය යුතු ය. සිය දිවි දෙවෙනි කො⁣ට රකින්වාටත් වඩා කුමාරයා රැකිය යුතු වස්තුවක් වෙයි. මෙරට ආක්‍රමණික මංකොල්ලකරුවන්ගෙන් රට බේරා ගැනීමට හැකි වන්නේ සියලු දෙනා පිළිගන්නා රාජ්‍ය නායකත්වයක් ගොඩනැගීමෙනි.

⁣ඊට ලබා  දිය හැකි දෙවැනි විසඳුම වන්නේ කුමාරයා කෙටි කාලයකට පැවිදි කරවීමයි. එසේ පැවිදි කළ කල්හී තමන්වහන්සේ සමීපයේ ම තබා ගනිමින් ආරක්ෂාව හා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙයි.  කුමාරයාට ශිල්පශාස්ත්‍ර අහිමි කරවීමට නොහැකි ය. ඒ සඳහා හැකි පමණ උත්සහ දැරිය යුතු වෙයි. මහානාම හිමියෝ අවසානයේ එළඹුණු නිගමනය වූයේ කුමාරයා පැවිදි බිමට ඇතුළත් කර ගැනීමටයි. දැන් සියලු දෙයට සැලැස්මක් ගොඩනැගිය යුතු ය. එක් සැලැස්මක් නොව සැලසුම් කීපයක් මේ සඳහා ගොඩනැගිය යුතු වෙයි.  

එළඹෙන වෙසක් පෝදා අනෙකුත් කුලදරුවන් හා කුමාරයා ද  පැවිදි කළ යුතු බවටත් මේ පිළිබඳ විහාරයේ භික්ෂූන් හා කථිකා කර ඉක්මනින් මහා විහාරයේ නායක හිමිවරුන් හා කථිකා කළ යුතු වෙයි.

මට හාමුදුරුවනේ මේ වැවේ මෙගොඩ ඉඳලා එගොඩට පීනන්නත් පුලුවන් වෙයි ද? 

අපොයි ඔව්. හිතේ බය නැත්නම් පුලුවනි. ඒත් හොඳට පීනන්න පුරුදු වෙන්න ඕන. මුලු ඇඟ ම ශක්තිමත් වෙනවා හොඳට පීනන්න පුලුවන් වෙනකොට.

එහෙනම් අපි හැමදාම යමු දොලේ නාන්න. එතකොට මට හොඳට පීනන්න පුලුවන් වෙයි. 

පීනලා ම විතරක් මදි. අකුරු ඉගෙනගන්නත් ඕන. සෙල්ලං ඉගෙන ගන්නත් ඕන. පුංචි කුමාරයා කැමති ද මහණ වෙන්න. 

ටිකක් කැමතියි. අම්මලා ළඟට යන්න බැරි ද එතකොට.

අපොයි නැහැ. අම්මලා තාත්තලා ව බලාගන්න පුලුවන් අපට. හුඟාක් හාමුදුරුවෝ ඉන්නවා තමන්ගේ අම්මලා තාත්තලා ව බලාගන්න. 

ලොකු හාමුදුරුවනේ මට කලින් නම් කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් පොඩි හාමුදුරුවෝ එක්ක ඉද්දි ආස හිතෙනවා. කොච්චර ලස්සන ඇඳුම් ඇන්දත් සිවුරක තියෙන්නේ වෙනස් ලස්සනක්....

කුමාරයා හරි. සරලකමේ තියෙන ලස්සන තමයි ඒ....

පන්සලට එන විට දහඩිය ද දමා තිබු මුත් හමා යන සුළඟින් ගතට සිසිල ⁣දෙයි. මම දානෙ වළඳන්න යනවා. දං ගෙයි පුතාට කෑම ලෑස්ති කරලා තියෙනවා.

කුමාරයා කුටියට දිව ගියේ ය. ගතයුතු විශාල තීරණ ප්‍රමාණයක් වේ.ඉතා ඉක්මනින් අනෙකුත් සාමණේර වහන්සේලා ළඟ සාමාන්‍ය ළමයෙකු මෙන් පැවිදි කිරීම කුමරාගේ ආරක්ෂාවට ගත යුතු ම වූ පියවරක් වෙයි. රටේ අස්සක් මුල්ලක් නෑර ආක්‍රමණිකයන් මංකොල්ලකරුවන් ඔත්තුකරුවන් ධාතුසේන කුමාරයා සෙවීමේ කටයුතු කරන බව මහානාම හිමියෝ දැන  සිටියේ ය. 


හිස මුඩු කර සිටි ධාතුසේන කුමාරයා පැවිදි බවට පත් කිරීමෙන් පසු සුධාර නමින් උන්වහන්සේ හඳුන්වා දෙන්නට මහානාම හිමි කටයුතු කළේ ය. සුධාර සාමණේරයෝ ශිල්ප උගෙනුයේ ශාස්ත්‍ර කටයුතු පමණක් ම නොවේ. උන්වහන්සේ රාජ කුමාරයකු උගත යුතු සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම ඇරඹුවේය.