ආදරණීය යෞවන කවිය, ඔබ ඉස් ඉස්සෙල්ලාම කවියක් ලී දවස මතක ද? එහෙම නැත්නම් ඔබ කවියෙක් වෙන්නට ඉස්තීරෙට හිතූ දවස මතක ද? මට නම් මතක හරියට ම අට වසරෙදි ප්‍රින්සිපල් මැඩම්ගෙ පුතාට කීවා. මම ලේඛකයෙක් වෙනවා කියලා. කවුරුවත් නොලී කටරොළු මල ගැන පුංචි සිංදුවක් ලිව්වා මතකයි. ඉතිං මේ සිංදුවේ අනාගත පද මොනවා නම් වෙන්න පුලුවන් ද? දොස්තර බබෙක් යන පාර පැහැදිලියි. ඉංජිනේරු බබෙක් යන පාර පැහැදිලියි. ඔය වගේ හුඟක් පාරවල් පැහැදිලියි. ඒත් කවියෙක් යන පාර පැහැදිලි වෙන්නේ කොහොම ද. මේ ලෝකේ හුඟක් දෙනා ඒක පාරක් ද කියලත් අහන්න පුළුවන්.
ඉතිං එහෙම දරුණු පාරක් තෝරා ගනිද්දි ඒ පාරෙ ගිහින් අනාගතේ කාර් එකක් ගන්න පුළුවන් ද කියලා යාලුවෝ අහන්නත් පුළුවන්. ඒත් එහෙම යාළුවෝ හිටියේ නැහැ. ඒ හැමෝට ම තිබුණා පුංචි තේ වත්තක් වවන්න ආසාවක්. කුඩා තේ වත්තක් කියන්නේ අපේ පුංචි යාළුවන්ගේ ලොකු ම හීනය. ඒ හීනයට යන යාළුවෝ කීප දෙනා එක්ක ඉස්කෝලෙ පිටිපස්සේ උස ම උස ගහේ පොල් අඹ ගෙඩි දෙක තුනකට ගල් ගහලා වරුවක් ම නැහිලා ඉගෙන ගත්ත දේ තමයි ඒ අඹේ කඩාගන්න එක හරියට කවියක් ලියවුණා වගේ සන්තෝෂයක් බව.
ඉතිං පුංචි කවියාණෙනි. ඔබේ කන්නෙලිය පාමුළ ඉස්කෝලේ කතාවත් ඒක ම ද?
අවුරුදු දහ තුනට දරාගන්න බැරි තරම් ඉස්කෝල පහක පහස ලබන්නත් ඕනාවට වඩා කඳුකර පාරවල්වල ඇවිදින්නත් ඒ වගේ ම මහා විසාල ගංගාවල කලුපාට වල්වල්වල පීනන්නත් සිද්ධ උනා ම ටිකෙන් ටික අකුරු අතෑරෙන්නත් බැලුවා. පහ වසරේ මෝඩ විභාගෙන් ලකුණු විසිපහක් අරං ඉස්කෝලෙ ගමන නවත්වලා දාලා හිටිය. අන්තිමට අම්මලාගේ ගෙදරිං අත්තම්මලාගේ ගෙදරට ගිහිං ඉස්කෝලෙ ගමනත් කඩා කප්පල් කරගත්තා.
ආවා අම්මා...
එක්ක ගියා ආයෙත්....
දැම්මා පුංචි කනිෂ්ඨෙකට
අන්න එතනින් පටං ගත්තා...
ඉතිං කවියාණෙනි. උඹ දැනගන්න ඕනි මේ කතාව. එහෙම නැතුව මේ කතාවෙ හතර හන්දි ගලපන්න බෑ.
උඹට කියන්න ඕනි අත්වැඩවලට චෛත්‍ය හදපු අපි කිරිමැටි පිරිමැද්දෙ කොහොම ද කියලා. කිරිමැටිවලින් චෛත්‍ය හදල කොස් කොළයක් අරං වතුරෙං තෙමලා උඩු පැත්තෙන් චෛත්‍ය මැද්දම දිලිසෙන දිලිසිල්ල හරියට මුළු රැයක් වැහැලා ගල්පොත්තකින් උදේ දිය වෑස්සෙනකොට ඉර එළිය වැටෙනවා වගේ ලස්සනයි.
දිලිස්මයක් ගහනවා....
ඉතිං කවියා උඹ මේ කතාවෙ මොන කොනකින් අල්ලගනියි ද කියා මම දන්නේ නැහැ. ගමක පුංචි කොල්ලෙක් දොලට නාන්න යන්නේ එක කලිසමක් අතිං අරගෙන. ඒ කලිසම ගලක් උඩ තියලා පැය තුනකට වඩා ඇස් රතු වෙනකං දොළේ නටලා උඩ එනකොට කොහේ හරි ඉන්න නරුමයෙක් ට ඕනතරං වෙලා ඇති ඒ කලිසමේ චූ පැටියා ගැවෙන තැන කොච්චි ටිකක් ගාන්න. උඹ දන්නවා ද. හයේ පන්තියේ ළමයෙක්ට එහෙම කරන විහිලුත් තිබ්බා කියලා. නාගෙන ඇඳුම් ඇඳං තේ වතු මැදිං කන්ද නගිද්දි කොහොමටවත් උහුලන්න බැරි දැවිල්ල අස්සේ කිලෝ මීටරටක් දෙකක් කන්ද මුදුනට දිව්වා යාලුවගේ ගෙදර පාරෙන් එන ඒමත් අතෑරලා.
ගෙට පල්ලෙ චූටි උල්පතින් උණ පීල්ලට එන වතුර ටිකට චූ පැටියව අල්ලගෙන පැයක් විතර හිටපු පුංචි දරුවෙක් ඒ දැවිල්ල ගැන කාටවත් නොකියා අමතක කරලා දැම්මා. ඒත් ඒ වගේ මිනිස්සු කී දාහක් උඹේ කකුල් දෙක පාවුලට එනකං කලිසම ගලවලා යට ඇඳුමක් නැති හෙළුවැල්ලට හිනා වෙලා ඇද්ද.
ඒත් උඹ හිතන්නේ ඒක නොදැනුවත් ගමකිං විතරක් වෙන වස වැරැද්දක් කියල ද.
ඒත් ඊට වඩා නරුම වැඩ විශ්වවිද්‍යාලවලත් සිද්ධ වුණා. අපේ බැච් එකේ කොල්ලෝ 34ක් කැලේට අරං ගිහිං ඇඳුං සේරම ගලවලා දස වද දීලා උන්ට කීවාලු මාව බැච් එකෙං අයිං කරනවාද හදාගන්නවා ද කියලා. අනේ අහිංසක උන් කියලා හදාගන්නවා කියලා .
පහුවදා පත්තරවල ඒ ප්‍රවෘතිය යද්දි මගේ අහිංසක බැජියෝ ටික මාව හදන්න වින්ද වේදනා මතක් වෙනවා. මට මගේ හෙළුව මැජික් එකක් නෙමෙයි. ඒත් කවියා...මං ගේම ඉල්ලුවෙ වැඩිමහල් එවුන්ගෙන් විතරක් නෙමෙයි.
සදාකාලික පරපීඩිතයන්ගෙන්.....
ආදරණීය තරුණ කවිය...මම 31 රෑ කෙල්ලන්ගේ මෙට්ට පාටිය ගැන නොකිව යුතු ද. ඒක ගැන උඹ දැනගන්න ම ඕන. අන්න එතැන දී කඳුකරයේ විශ්වවිද්‍යාල කථාවකින් අහුමුළු අහු වෙන්න පටන් ගන්නවා. එදා 31 දා රාත්‍රියේ හුඟාක් පිරිමි නේවාසිකාගාරවල සාද පැවැත් වුනා. ඒත් එක හොස්ටල් එකක කෙල්ලො මෙට්ට ටික සාලෙ මැද දාලා මෙට්ට පාටියක් දාලා තිබ්බා. මහා රැයේ පිරිමි හොස්ටල්වල බීලා කෑ ගහලා සද්ද කළත් වට පිටාවෙ උන් ඔය කොල්ලොනේ කියලා නිශ්ශබ්ද ව හිටියා. ඒත් අර මෙට්ට පාටියෙ ලස්සන සින්දු ටික වටේ මිනිස්සු පොලීසියට කතා කරවලා තිබ්බා. මිනිස්සු එහෙමයි පුංචි කවියෝ. පිරිමින්ට ඕන දහදුරා වැඩක් කරන්න පුළුවන් උනත් කෙල්ලන්ට එහෙම බෑ.
පොලීසියෙන් විශ්වවිද්‍යාලයට කතා කරලා විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂකට පැමිණිල්ල යනකොට අපේ ජ්‍යෙෂ්ඨයෝ මගේ බැජියන් ව ගෙන්නලා තමන්ගේ බැජ් එකේ කෙල්ලන් ව හදාගන්න බැරි උණාට තදට දොස් කියලා ගහලා තිබුණා. උන් උදේ පාන්දර එක ම යුද්ධයක්. ඒ මෙට්ට පාටිය දාපු කෙල්ලන්ට අමතන්න යන්න. ඒත් විශේෂ දෙයක් වෙමින් තිබුණා. එකෙක් මෙකේ අසාධාරණය වෙනුවෙන් කතා කළා.
මම එන්නෙ නැහැ.
බැජ් එකේ අමුතු වෛරයකින් මා එක්ක පැටලුණු එකෙක් තදින් මේකට එරෙහි උනා.
මූ එන්නේ නැත්නම් මම එන්නෙත් නෑ. මාර අසාධාරණයක්නේ මේක.
අපේ හොස්ටල් එකේ බීලා සින්දු නොකිව්ව ද. කෑ නොැගැහැවුවා ද. ඒත් මේ වටේ කවුරුවත් කතා කළේ නැහැ පොලීසියට. ඇයි ඒ. අපි පිරිමි නිසා. හැබැය් ඒක කෙල්ලන්ට බෑ. ඒකයි පුරුෂෝත්තම දෘෂ්ටිවාදය මේවා ඇතුළෙ වැඩ කරන්නේ.
ඉතිං මිත්‍රයා දෙවෙනි තුන්වෙනි වතාවලත් මගේ 34 දෙනාට පිටිං ගිහිං හුදෙකලාවට පත් උනා. මේ ලියන තරම් ඒක පහසු නැහැ.
මගේ රොමාන්තික කතාවේ රළු තැන් ගැන ආරෝවක් ඇති කරගන්න උවමනා නැහැ.