Sunday, June 16, 2024

ලස්සන ගවුමක්ය...තෑගි දෙන්න

ආදරණීය තරුණ කවියාණෙනි..ඇයට තෑගි දෙන්නට ගවුමක් මසාගන්නට මට සිහිනයක් තිබේ. අපේ ගෙදර එක ම එක පුංචි ගවුමක්වත් නැති නිසා මට ඇත්තට ම ඒ ගැන ලොකු අදහසක් නැහැ. අපේ ගෙදර පිරිමි ළමයි පිරිලා. අම්මා නම් කීවේ තවත් මල්ලිලා ඉපදෙනකොට ⁣ගමේ මිනිස්සු බිමට කෙළ ගහපු කතාවක්. 

අපිට තමයි හැමදාමත් චීත්ත...

ඉතාමත් සුන්දර ගැහැනු ළමයින් බවත් ඔවුන්ගේ සියුමැලි හැකියාවන් පිරිමි ළමයින්ට කවදාකවත් අත් කරගන්නට බැරි බවත් මට දැනෙනවා. ඒක හරියට නුඹේ කවි හැකියාව මම ගන්නට ආසා කරනවා වගේ වැඩක්. මං හැමදාමත් ආදරය කළ ඔය කවිය දවසකට හෝ අත්කරගන්නට මම ආසා කරනවා. 

ඉතිං පුංචි ගවුමක අතට දාන මෝස්තරය ගැන අදහසක් පිරිමි ළමයි වෙන අපිට කොහෙත්ම එන්න විදිහක් නෑ. අපිට පුළුවන් ඇඳුම් මහනකොට ඩබල් ලයින් හෝ ත්‍රිබල් ලයින් ගහන්න විතරයි. පොඩි කාලෙ නම් කලිසමේ පෝල්ට් එක තිබ්බා. ලොකු වෙනකොට පෝල්ට් එක හීන් කළා. ඉතිං ඒ කොහොම හරි ගවුමකින් හමන සුවඳක් ඒ ගෑනු ළමයගේ අල්මාරියෙන් එන සුවඳ ද නැත්නම් ඒ සබං සුවඳ ද කියා මම නොදන්නා නිසා මේ ගෑනු ළමයෙක් ගැන හීනය හැමදාමත් 

මේ කතාව නම් බොහෝම දුක හිතෙන කතාවක්. අම්මාට ගැහැනු ළමයෙකුට තිබ්බ ආසාව නිසා ම මම ගැහැනු ළමයෙක් වෙතැයි සිතා නමකුත් හදා ගත්තා ලු. ඒත් මමත් කොල්ලෙක් වීම දුකක් රැගෙන ආවත් රෝස මලක් උඩ තියා කෙලි පොඩිත්තක් හදන්නට අපේ අම්මාට හැකිදැයි ඇත්තට ම මම දන්නේ නැහැ. ගෙදර කොල්ලන් ගහණය වැඩි නිසා රළු පැවතුම් වැඩි වීම සාමාන්‍ය දෙයක් දැයි මම දන්නේ නැහැ.  මගෙන් පස්සෙත් කොල්ලන් දෙදෙනෙක්ම ගෙදරට ආවත් අම්මාගේ ගැහැනු ළමයකුගේ ආසාව කවදාවත් හිතෙන් ගියේ නැහැ.

ඉතිං කවියෝ....නුඹ මට කියන්නේ මට ගැහැනු ළමයාට තෑගි දෙන්නට ගවුමක් නැත කියා ද. කොහෙත් ම නැහැ. ඒ ගැන කල්පනා කරන විට දාාහක් එන ප්‍රශ්න ගැන විතරක් ම මට කියන්නෙපා.

කොහොම ද ඒ ළමයගෙන් මිනුම් ටික ගන්නේ?

ඇත්තට ම ඒ ළමයා උඹට කැමති ද. 

මේක උඹ හිතේ හදාගත්ත  හීනයක් විතරයි.....

ඔය වගේ හුඟක් ප්‍රශ්න මගෙන් අහන්න උඹ ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ලෑස්තිය හරි දරුණුයි.

මේ කතාවේ ඉන්න ඕන හුඟක් අය කතා ඇතුළට අරං එන්න ලේසි නැහැ. විශේෂෙන් සුරතල් සතුන්. ඉතිං මනුස්සයෝ දවසකට කවි කඳු ගණං ලියන කවියෙක් නොවී කල්ප කාලයකට එක ම එක කවියක් ලියලා ඒක එක ම එක පත්තරයක කවි පිටුවකට යවන ඒ වගේ ම ඒ කවියට ලස්සන චිත්‍රයක් එක්ක ප්‍රධාන කවිය විදියට පළ වෙන ආපහු කාලයක් කන්නෙලියේ මහ වනය මැද්දෙ තනි වෙන හිත හරි පුදුමයක්.

මං දන්නා විදියට උඹට සහෝදරියක් තියා සහෝදරයෙක්වත් හිටියෙ නැහැ. මං විශ්වවිද්‍යාලයට කවියව හොයන් එනකොට කවුරුවත් දැනගෙන හිටියෙත් නැහැ මෙහෙම නපුරු කවියෙක් ඉන්නා බව. ඇයි මම නපුරු කවියෙක් කියලා කියන්නේ. කවියෙක් වෙන්නේ පොතක් පළ කරලා පොඩි පොඩි කෑලි ටිකක් නමට එකතු කරගන්න බව දන්න හින්ද ද. ඇත්තට ම හැංගිලා ඉන්න කවියෙක් ද ලස්සන ම හිතකින් ලෝකයට එන්නේ.

ඉතිං මිත්‍රයා...තාත්තා හුඟක් වයස හින්දා ටිකක් බයෙං ඉන්න බව මං දන්නවා. ඒත් කමක් නෑ. තාත්තගෙ ආදරය උඹට තියෙනවා. තාත්තා වැස්සට මතුරනකොට උඹ හරිම ආස බව මං දන්නවා. තාත්තගෙ මැතිරිල්ලෙන් වැස්ස ඇත්තට ම අඩු වෙනව ද. වෙන වෙන වැඩ ලොකු කරගෙන කවි ලියන අයට වඩා කවියටත් යටත් නැතිව කවි ලියන එක කන්නෙලියේ ගම් පාවුලේ සගය ආස කරපු දෙයක්.