Tuesday, June 18, 2024

අනේ වස් කවිය ඉල්ලා . . . . ගන්න අන්දරේ ගරු ඇති




සිතින් සිත හැපී අහසේ මන්ද තාරුකා නිදි මදි

මන්ද මනරම්ව ඇහැරුණු මාලතී ළගින් සිටි සකි

ගසින් ගස ගිහින් තෙලිදිය බිඳෙන් බිඳ අරන් ආ හැටි

උදේ සිට ඉඳන් නැග නැග කැපූ මල් දනී දුක් ගිනි


අනේ කවියනේ ඇවිදින් වනේ වස් කවිම කියු හැටි

ඉනේ තිබුණු මල් පිහියත් පුවක් කොපුවෙහිම හිර උනි

සඳේ තිබුණු රෑ යාමෙත් කිතුලකින් වැටෙයි මිතුරනි

අනේ වස් කවිය ඉල්ලා ගන්න අන්දරේ ගරු ඇති


මාලිගෙන් ඇවිල්ලා පැනි ටික හොරු අරං ගියා විහඟුනි

ගල් ගොඩක් පිරුණු හේනක් ලියා දී තිබේ ගොරසැඩි

හැර දමා දිවිය අතහැර පනිමි නොමැති නම් දරුවනි 

වනේ දා කොටා මරතියි කියා බියවෙමී කවියනි


හෂාන් බඹරබොටුව


Sunday, June 16, 2024

මගේ කුඩා තේ වත්ත

මගේ කුඩා තේ වත්ත ගැන මම ඔබට කිව යුතු ය. එතරම් හොඳින් ඉවසීම ප්‍රගුණ කළෙ මේපුංචි තේ වත්තේ වැඩ කිරීමේ කළ පුරුද්දෙන් ය. මහා විසාල තේ වත්තකින් නොලැබෙන ජීවිතයක් පුංචි ම පුංචි තේ ගොවියෙකුට අත්විඳිය හැකි බව හුඟක් ලොකු ජීවිතයකට නොවැටහෙයි. පුංචි තේ වත්තේ උඩහින්ම ⁣කොටසක් සුද්ද කිරීම පටන් ⁣ගන්නේ බිම සකස් කිරීමේ අත්දැකීමෙහි කාරණා කාරණා හොඳහැටි තේරෙන මහ ගොවියන් ද බලා සිටිනා කල ය. 

ඉතිං මේ තේ වත්තේ පළවෙනි කානුව කියා කියන්නේ මොකක් දැයි ඉස් ඉස්සෙල්ලාම පැහැදිලි කළ යුතු වෙයි. ඇත්තට ම තේ කානුවක් යනු පස් කපා හැදූ අගලක් වැනි කානුවක් නොවේ.තේ පේලි දහයෙන් පහළොවෙන් පමණ අඩ්යක් පමණ පළල වතුර එකතු වීමට සකසන අගලක් වෙයි. ඒ කානු දෙකක් අතර කොටසට තේ කානුවකියි කියනු ලැබෙයි. මේ පණ්ඩිත කතාවලින් ඒ තරම් වැඩකට නැතත් ජිමියාත් සුදුවාත් රූබියාත් කට්ටිය ම අලුත් පස්වල  නටන්නට එයි.

මේ කඳුකර මුදුනේ සියලු කුඩා තේ වතුවල අපරිමාණ වැඩ කොටසක් ඒ ඒ ගෙවල්වල බලු පැංචා සිදු කරයි. ඇතැම් සර්පයන්ගෙන් තම ගෙදර දරුව⁣න්ගේ හා වැඩිහිටියන්ගේ ජීවිතය ආරක්ෂා කර දුන්  පුංචි බලු පැංචන් ගැන අලුතින් කතාවක පරිච්ඡේද ගණනක් උව වෙන් කළ හැකි ය.  

ඉතිං මගේ පුංචි කලවිටෙි තේ කානුවක් දෙකක් ⁣වවන්නට මට සිදුවනු නොවේ ද. එවිට මට කුඩා කල අම්මා තේ ගහක් යට සෙල්ලම් කරන්නට තබා දලු ගෝනි තේ වතුර භාජන තබා සකසන පුංචි තේ වතු හෙවණ යට සකසන ජීවිතය සිහිපත් වෙයි.

තමන්ගේ රටට අමාරුම කාලයක තම රටට බැණ වැද මෙරටින් මීයන් මෙන් පැන යන විවිධ ලොකු ලොකු ඉගෙනුම් ඇති උදවියට වඩා පුංචි තේ වත්තකින් තමන්ගේ පුංචි රටට සහයක් දෙන මිනිසුන් හරි අගේ වෙයි. මේ කඳුකර මිනිසුන් තමනිගේ පුංචි තේ වත්තට යන්නට පාරක් නැතිව වෙහෙසවන තරම නොදන්නා හෙයින් දෝ නිස්කරණ මුදල් ලොකු අය විය හියදම් කළත් හෘද සාක්ෂිය ඔවුන්ට සමාව නොදෙනු ඇත.

 පුංචි කලවිටට බලු පැටවෙකුත් පුංචි පූස් පැටවෙකුත් අනිවාර්යෙන් උවමනා ය. ඒත් උන් දෙදෙනා හුඟ කාලයක් පරිස්සම් කර බලා ගැන්මටත් කොහේ ගියත් සංචාරයේ කොටසක් කර ගැනීමටත් සැලැස්මක් තිබිය යුතු ය.

ඉතිං මහ කවියාණෙනි. මගේ ප්‍රේමයේ බලාපොරොත්තුව ඉතා සැලසුම්සහගත පාසල් යුවතියක් බව ද කිව යුතු යි. ඇගේ අලුත් ම ඉයර් ප්ලෑන් ඩයරිය දවසේ වැඩ ඕනාවටත් වඩා සැලසුම් කිරීම උදෙසා ම සැකසූ යමක්. සැලැස්මක් කියන තැන ඔබට ඇය මතක් කර කිව යුතු ය. ඇය අලුත් නව වසරට වර්ෂයේ සැලැස්මක් මිතුරියකගෙන් ඇයට ම ඔබින ලෙස සකස් කරගෙන තිබේ. ඇ බොන වතුර ප්‍රමාණයේ සිට දවසේ  සියලු වැඩවලට සටහනක් තිබේ. මා 

සිසිලසිනි දිය කදුර - පළමු කොටස

මම සොය සොයා ඇවිදිමින් සිටියෙමි. කලවිටක් කුඹුරක් පුංචි තේ වත්තක්. කුරුන්දක්. එය විශේෂයෙන් ම පුංචි කොටසක් බව ඔබට කිව යුතුයි. මට මහා පරිමාණ වගාවන් එපා වෙලයි ති⁣යෙන්නේ. ඒ ගොවිබිමේ මුදල් මිසක් කරපිංචා ගහක් හෝ පුංචි පැලක් ඇත්තේ නැහැ.

 හිත කොහේ හෝ ලස්සන දිහාවක නතර වෙලා තියෙනවා. මම හොයමින් ඉන්නවා මගේ හිත නතර වෙලා තියෙන දිහාව. මෙච්චර කඳුකර සීතකරයක ජීවත් වෙලත් මට තවමත් අහිමි වෙලා තියෙන සතුටු බිංදුව හොයාගෙන යද්දි මට තේරුණා. මිත්‍රයා . . . මට පුංචි උදැල්ලක් මග හැරිලා තිබුණා. ඒ උදැල්ලෙන් පොළොව බිඳින රිද්මය ඇඟ එක්ක බද්ධ වෙලා තිබුණා. දවසක් පුරා උදැල්ලෙන් පස් කොටන වැඩිහිටියෙක් දන්නවා උදැල්ලෙ එක අයිනකින් අතේ මස් පිඩුවලට නොදැනෙන්න පැය අටක් පුරාවට පස් ලිහ ලිහ ගන්න ඕන විදිහ. ⁣

         වතුර පාරක් අය්නක මං එනකං පුංචි දෙණි බිමක් බලා ඉන්නවා.  

               මේ බලං ඉඳිල්ල මට ඇතිවෙලයි තිබුණේ. මම පුංචි පස් තීරුවක් හොයන්  යන පාර වැරදුණු ගොවියෙක්. ඇත්තට ම මම ගොවියෙකුත් නෙමෙයි. ගොවියෙක් වෙන්න ආසාවෙන් ඉඳලා ලියන්න වෙච්ච පොඩි කෙනෙක්. ඉතිං ඔය අස්සේ මට මගේ මිත්‍රයා කතා කළා. 

"මට උඹේ ලෝකය හම්බ උණා. ඇවිත් ඒකෙ හුස්ම වැටෙනවද බලපං"

90 අවුරුද්දේ ඉපදිච්ච එකෙක් වෙච්ච මට 93 ඉපදිච්ච ඌ කතා කළේ  සියලුම තරුණ කුණුහරපවලින්

කියන්න අමතක උණා. මට කිසි කෙනෙක් කුණුහරපෙන් කතා කරන්නෙ නෑ. අඩු තරමේ විශ්වවිද්‍යාලයේ දී වත්. එහෙනම් මූට ඇති පරම අයිතිය මොකක් ද. ඒක දිග කතාවක්. මේ පරයා මට හම්බුණේ පත්තරේක දැක්ක කවියකින්. මගේ මේ වැදගත් කතාවට කුණුහරප නොදාන්නේ මේ කතාව වැදගත් විදියට ලියන්න ඕන නිසයි. ඒත් ඒ පරයා මට ඒකට ඉඩ දෙන්නෙ නැහැ.

      ඒ තරම් වැදගත් කුණුහරපවලින් මගේ ඔලුව පුරවන්න ඒ පාහරයා සමත් වෙලා හිටියා. කොහොම උනත් මම දැනගෙන හිටියා. ඌ මහ කවිකමක් තිබ්බ ගැඹුරු මිනිහෙක් කියලා. නැත්නම් මම ඌට එච්චර කෙළි කරන්න දෙන්නෙ නැහැ. 

        ගැහැනු ළමයෙක්ට තව ගැහැනු ළමයෙක් එක්ක පවත්වන මිත්‍රකම හරි ලස්සන දෙයක්. ඒ යාලුකම ඇතුළෙ ලස්සන ගවුම් ලස්සන මාල වලලු අරුංගල් තෝඩු හා ලස්සන සමනල්ලු කුරුල්ලො අම්මා තාත්තා වගේ මාර ලස්සන දේවල් ගැටගැහෙනවා. ඒත් මේ පරයයි මමයි අතර ගොඩනැගෙන කතාව ඊට සපුරා වෙනස්. 

       කියන්න බැරි උනා. කෙල්ලො අතර මාල වළලුවලට අමතර ව ඉතා ගැඹුරු විදියට ජීවිතයේ උස් මුදුන්වලත් සිටිනවා. චින්තනයෙන් ශරීර ශක්තියෙන්. 

         ඉතිං මිත්‍රයා...මේ කතාවෙ ලස්සන රොමාන්තික තැන් විතරක් ම මම කියන්න ද. නැත්තං දාර්ශනික පැත්තක් ලොකු කරං කියන්න ද? ඒත් නැහැ. මම ආසයි සිහින් හිතකින් මගේ කලවිටේ වතුර පාර ළඟ ඉඳගෙන  කකුල් ඒ වතුරට දාගෙන ඉර එළියේ දණ්ඩි තමන්ගේ බඩ පැත්ත ගහලා පෙන්වනවා බලන්න.  

දෙණියක උල්පතින් වතුර එන එකත් මහපොළොවෙන් පැල මතුවන එකත් පුංචි කවියෙක් කවි ලියන එකත් අතර කොයිතරම් සම්බන්ධයක් මම ගොඩනගන්න උවමනා ද. මගේ කලවිටේ මගේ පුංචි පැලේ පුංචි පහනක් වගේ ම විදුලියත් උවමනා වෙනවා. මොක ද මගේ එච් පී 630 ලැප් එකෙන් ලියන වැඩ ගොඩක් තියෙන බව. 

        ඉතින් මගේ කන්නෙලියේ හාදයට කියන්නේ උඹ හොයාගත් කලවිට හොයාගෙන මම ඉක්මනින් එන බව. එතකොට ඒ කලවිටේ ඉස්සෙල්ලා ම හදන්නේ වතුර උල්පත මතු කරලා වතුර පාදාගන්න එක. ඉස්සෙල්ලා ම වතුර තිබහ නැතිකරගන්න ඕන. තවමත් ආරම්භ නොකරපු කතාවක පළවෙනි පරිච්ඡේදය අකුරුවලින් පුරවන්න පෙරපාසල් ළමයෙක් වගේ වර්ණගන්වන්න පටන් ගත්තා. මං ආස හයිවේ එක අය්නෙන් මේ කලවිට හොයාගන්න. දැනට වැවිලා තියෙන ගොඩපර ගස් සහ පුරං කුඹුරු කෑල්ලත් පුංචි තේ වත්තත් මැද සිමෙන්ති බිංදුවක් නැති ගෙයක් ගොඩනගාගන්න. 

              ඉතිං මහත්තයෝ. උඹ උඹේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔහේ ගෙවලා දාලා හිත පරිස්සං කරගත්තා. උඹ මතක ඇතුව එක දෙයක් කළා. ඒ තමයි බාසාවයි සාහිත්‍ය යි ඉගෙන ගන්න එක නැවැත්තුවා.  මට ඒකට වාසනාව තිබ්බෙ නෑ.  කවියෙක් වෙන්න හිතං ආපු ගමනට හෙණහුරා  පාත් උනේ කොයිතරම් වේගයෙන් ද. ඉතිං පාහරයො. උඹ බේරුණා. මම අහු උණා. තොට වමනේ කරලා වමාරන්න පුලුවන් වගේ ම මටත් පුලුවන් නම් ඉගෙනගත්ත දේවල් වමාරලා මොකුත් නොදන්න තොත්ත බබෙක් වගේ ලියන්න. ලස්සන සෘතු විපර්යාසයන් ගැන ලියන්න. අන්න  එදාට තමයි මගේ සිහිනය.

     ඒත් මම තවමත් ලස්සන සෘතු ටික පිළිවෙලට ලියන්න දන්නෙ නැහැ. හිම වැටෙන්නෙ නැති ලංකාවක මේපල් පත්‍ර නැති ලංකාවක සිසිර හා මල් පිපෙන වසන්ත සෘතු නැති ලංකාවක මට හැදෙන්න වැඩෙන්න උනා. ඒ හැදෙන්න වැඩෙන්න වෙච්ච නිසා මට ලස්සන කතා ලෝකය නැති උනා. මම දන්නෙ මගේ පුංචි කලවිට  ගැන විතරයි. 

          ඉතිං මිත්‍රයා කොහේ ගියත් තමන්ගේ යක් දත් දෙක වහගත්ත අහිංසක පූසෙක් ඇවිත් උගේ නැට්ටෙං මගේ ඇඟ පිරිමදින ගමන් අවධානය ඉල්ලනවා. ඕක සපුරා වෙනස් මගේ ම පූසාගේ අවධානය ගැනීමේ න්‍යාය. කොහොම ද කිව්වොත් ඌ කෙලින් ම මගේ ඇඟට නැගලා උගේ ඉදිරි නියපොතු ඇඟ ඇතුළට හෙමින් බස්සන්න හදනවා. ඒ නියපොතු ඇඟට බස්සද්දි ආයි ආයි ආයි.....කියලා මම කෑ ගහනවා බලන්න ඌ පුදුම ආසයි. ඌ එහෙම කරන්නේ දීලා තියෙන මිනිස් නම හින්දා වෙන්න ඇති. මුළු ගම ම දන්නවා දිමුතු කියන පූස් හාදයව.කොහොම වෙතත් මගේ ආදරණීය පූසා උගේ සුපුරුදු ගමෙන් ගලවලා කලවිටට ගෙනියන්න  පුලුවන් වෙන එකක් නැහැ. ඌට දුර ගමන් පුරුදු නැහැ. 

       ඉදිරියෙදි මට පැලට මැටි ගහන්න  වරිච්චි බඳින්න වහල හදන්න ලී කපන්න වගේ විසාල වැඩ කොටසක් තිබෙන බව දැනෙමින් තියෙනවා. ජීවිතේ එක කාලයක අනිවාර්⁣යයෙන් මේ ගමන යා යුතු බව මම දන්නවා. ඉතිං කාව්‍යක්කාර නරුමයෝ.  මේ වචනවල තිබෙන බර වෙනස් විදියට උඹට පවරන ගමන් මා වෙනුවෙන් හතර දිග ඇවිද හොඳ පස් කොටසක් හොයා ගන්නට උඹට හැකි වීම. නමුත් දැන් මට තියෙන ගැටලුව මගේ හිතේ ගොඩනැගී තියෙන පුංචි ලෝකය  එතැන ගොඩනගන්නට පුලුවන් වෙයි ද කියන එක. මම වෙනුවෙන් කාටවත් තීරණ ගන්න අමාරුම උනත් ටිකක් හෝ තීරණ ගන්න පුලුවන් කෙනත් උඹම බව තරහෙන් කියන්නට ඕන.

ලස්සන ගවුමක්ය...තෑගි දෙන්න

ආදරණීය තරුණ කවියාණෙනි..ඇයට තෑගි දෙන්නට ගවුමක් මසාගන්නට මට සිහිනයක් තිබේ. අපේ ගෙදර එක ම එක පුංචි ගවුමක්වත් නැති නිසා මට ඇත්තට ම ඒ ගැන ලොකු අදහසක් නැහැ. අපේ ගෙදර පිරිමි ළමයි පිරිලා. අම්මා නම් කීවේ තවත් මල්ලිලා ඉපදෙනකොට ⁣ගමේ මිනිස්සු බිමට කෙළ ගහපු කතාවක්. 

අපිට තමයි හැමදාමත් චීත්ත...

ඉතාමත් සුන්දර ගැහැනු ළමයින් බවත් ඔවුන්ගේ සියුමැලි හැකියාවන් පිරිමි ළමයින්ට කවදාකවත් අත් කරගන්නට බැරි බවත් මට දැනෙනවා. ඒක හරියට නුඹේ කවි හැකියාව මම ගන්නට ආසා කරනවා වගේ වැඩක්. මං හැමදාමත් ආදරය කළ ඔය කවිය දවසකට හෝ අත්කරගන්නට මම ආසා කරනවා. 

ඉතිං පුංචි ගවුමක අතට දාන මෝස්තරය ගැන අදහසක් පිරිමි ළමයි වෙන අපිට කොහෙත්ම එන්න විදිහක් නෑ. අපිට පුළුවන් ඇඳුම් මහනකොට ඩබල් ලයින් හෝ ත්‍රිබල් ලයින් ගහන්න විතරයි. පොඩි කාලෙ නම් කලිසමේ පෝල්ට් එක තිබ්බා. ලොකු වෙනකොට පෝල්ට් එක හීන් කළා. ඉතිං ඒ කොහොම හරි ගවුමකින් හමන සුවඳක් ඒ ගෑනු ළමයගේ අල්මාරියෙන් එන සුවඳ ද නැත්නම් ඒ සබං සුවඳ ද කියා මම නොදන්නා නිසා මේ ගෑනු ළමයෙක් ගැන හීනය හැමදාමත් 

මේ කතාව නම් බොහෝම දුක හිතෙන කතාවක්. අම්මාට ගැහැනු ළමයෙකුට තිබ්බ ආසාව නිසා ම මම ගැහැනු ළමයෙක් වෙතැයි සිතා නමකුත් හදා ගත්තා ලු. ඒත් මමත් කොල්ලෙක් වීම දුකක් රැගෙන ආවත් රෝස මලක් උඩ තියා කෙලි පොඩිත්තක් හදන්නට අපේ අම්මාට හැකිදැයි ඇත්තට ම මම දන්නේ නැහැ. ගෙදර කොල්ලන් ගහණය වැඩි නිසා රළු පැවතුම් වැඩි වීම සාමාන්‍ය දෙයක් දැයි මම දන්නේ නැහැ.  මගෙන් පස්සෙත් කොල්ලන් දෙදෙනෙක්ම ගෙදරට ආවත් අම්මාගේ ගැහැනු ළමයකුගේ ආසාව කවදාවත් හිතෙන් ගියේ නැහැ.

ඉතිං කවියෝ....නුඹ මට කියන්නේ මට ගැහැනු ළමයාට තෑගි දෙන්නට ගවුමක් නැත කියා ද. කොහෙත් ම නැහැ. ඒ ගැන කල්පනා කරන විට දාාහක් එන ප්‍රශ්න ගැන විතරක් ම මට කියන්නෙපා.

කොහොම ද ඒ ළමයගෙන් මිනුම් ටික ගන්නේ?

ඇත්තට ම ඒ ළමයා උඹට කැමති ද. 

මේක උඹ හිතේ හදාගත්ත  හීනයක් විතරයි.....

ඔය වගේ හුඟක් ප්‍රශ්න මගෙන් අහන්න උඹ ලෑස්ති වෙලා ඉන්නවා. ඒ ලෑස්තිය හරි දරුණුයි.

මේ කතාවේ ඉන්න ඕන හුඟක් අය කතා ඇතුළට අරං එන්න ලේසි නැහැ. විශේෂෙන් සුරතල් සතුන්. ඉතිං මනුස්සයෝ දවසකට කවි කඳු ගණං ලියන කවියෙක් නොවී කල්ප කාලයකට එක ම එක කවියක් ලියලා ඒක එක ම එක පත්තරයක කවි පිටුවකට යවන ඒ වගේ ම ඒ කවියට ලස්සන චිත්‍රයක් එක්ක ප්‍රධාන කවිය විදියට පළ වෙන ආපහු කාලයක් කන්නෙලියේ මහ වනය මැද්දෙ තනි වෙන හිත හරි පුදුමයක්.

මං දන්නා විදියට උඹට සහෝදරියක් තියා සහෝදරයෙක්වත් හිටියෙ නැහැ. මං විශ්වවිද්‍යාලයට කවියව හොයන් එනකොට කවුරුවත් දැනගෙන හිටියෙත් නැහැ මෙහෙම නපුරු කවියෙක් ඉන්නා බව. ඇයි මම නපුරු කවියෙක් කියලා කියන්නේ. කවියෙක් වෙන්නේ පොතක් පළ කරලා පොඩි පොඩි කෑලි ටිකක් නමට එකතු කරගන්න බව දන්න හින්ද ද. ඇත්තට ම හැංගිලා ඉන්න කවියෙක් ද ලස්සන ම හිතකින් ලෝකයට එන්නේ.

ඉතිං මිත්‍රයා...තාත්තා හුඟක් වයස හින්දා ටිකක් බයෙං ඉන්න බව මං දන්නවා. ඒත් කමක් නෑ. තාත්තගෙ ආදරය උඹට තියෙනවා. තාත්තා වැස්සට මතුරනකොට උඹ හරිම ආස බව මං දන්නවා. තාත්තගෙ මැතිරිල්ලෙන් වැස්ස ඇත්තට ම අඩු වෙනව ද. වෙන වෙන වැඩ ලොකු කරගෙන කවි ලියන අයට වඩා කවියටත් යටත් නැතිව කවි ලියන එක කන්නෙලියේ ගම් පාවුලේ සගය ආස කරපු දෙයක්. 

     

කුමාරදාසගේ ලංකාගමනය

දර්ශනය


 මුගලන් - ඉතින් පුත්‍රයා....ඔබ එහෙනම් මගේ ප්‍රාර්ථනය ඉෂ්ඨ කළා. මගේ පුතා. ඔබ මට වැළඳගන්න ඕනි.


කුමාරදාස - පියාණෙනි. ලංකාවට පය තැබූ හැටියේ තමන්ගේ ගමට පය තැබූ සැනින් මිනිසකු පත්වන ආහ්ලාදකාරී හැඟීම මසිත පිරී ගියා. සැබෑවට පියාණෙනි. ඔබත් මෑණියනුත් දැකගැන්මට මා කොතරම් ආශා කළා ද. 

මුගලන් - පුත. ඔබගේ ලිවීම් කකටයුතුවලට බාධා කළාට සමාවෙන්න. මා කැමති නැහැ මගේ අය්යා කාෂ්‍යපට වූවා වගේ රජකමකට කොටු කරන්න. 


කුමාරදාස - කොහිද පියාණනි ඔහු. මා ආශාවෙන් සිටිනවා ඔහු⁣වත් ඔහුගේ නිනිර්මාණත් දැකගැන්මට.


මුගලන් - ඔහු ඉතා රහසිගතව රැඳී ඉන්නේ. කිසිවකු දැන ගන්නවාට ඔහු කැමති නැහැ. පුත...ඔබ දිගු මුහුදු ගමනින් වෙහෙස වී සිටින්නේ. අපි වෙහෙස නිවා කතා කරමු.


දෙදෙනාම අශ්ව කරත්තයකින් මාලිගයට පිටත්ව යයි.


ඒ එන අතරමග ලාංකේය රාජ්‍යයේ හාත්පස දක්නට ලැබෙයි.

 



දර්ශනය


මුගලන් - ඔබ  බොහෝ පුස්තක රැගෙන ඇවිත් බවයි පෙනී යන්නේ.


කුමාරදාස  - ඔව් පියාණෙනි. මේ මා මිත්‍ර කාලිදාසගේ කාව්‍ය හා නාට්‍ය කිහිපයක් වගේ ම ලංකාවෙන් සොයාගැනීමට අපහසු පුස්තක සමූහයක්.


මුගලන් - කාලිදස්සන් බොහෝම ජනප්‍රියයි මෙහි. දැන් ඔහුගේ නාට්‍යයක් පවා මෙරට රඟ දක්වන්නට හදනවා. සැබෑ වශයෙන් කාෂ්‍යප අය්යණ්ඩියගේ ආශාව වූයෙත් ලංකාව ම කලාගාරයක් කිරීමට. ඔහු ඒ සඳහායි මහන්සි වූයේ. ඔ බ එවූ කෘති බොහොමයක් අපි රාජකීය පුස්තකාලය හරහා  ⁣පිටපත් කර ලංක⁣ාවේ විවිධ පළාත්වල විහාරයන්ට බෙදා හැරියා.


කුමාරදාස - දැන් ඒ විහාරයන්ගෙනුත් පිටපත් කෙරුණොත් ලංකාව පුරා මහා ශ්‍රේෂ්ඨ කාව්‍ය නාටක පැතිරෙනවා.


මුගලන් - ඉතින් පුත. ඔබගේ කාව්‍යකරණයන්  කෙසේ ද?


කුමාරදාස - ජානකීහරණය නමින් මහා කාව්‍යයක් ලියැවෙනවා පියාණෙනි. නමුත් එය අවසන් නැහැ.



දර්ශනය

කුමාරදාස - පියාණන් වහන්ස. මා රාජ මාලිගයට කැඳවූයේ ඇයිදැයි දැනගනු කැමති පියාණෙනි.


මුගලන් - ඔබ රාජ්‍යත්වය බාර ගැනීමට සූදානම් විය යුතුයි පුතා.


කුමාරදා - පියාණෙනි. ටික දවසක් වූවොත් මට රට තොට ඇවිද නිදහස් දිවියක් ලබා අභිශේකය සිදු කරමු පියාණෙනි.


මුගලන් - මමත් කාෂ්‍යප අය්යණ්ඩිය සිටින නිදහස් පරිසරයට යා යුතුයි කුමාරයාණෙනි. ඔබ බොහෝ ප්‍රමාද වූවා. මා ආදරයෙන් ඉවසූවා.  මට සැකයක් පවා වූවා ඔබ කිසිි දිනක නොපැමිණෙවි කියා.  


දර්ශනය 

කාෂ්‍යප බලන්නට කුමාරදාස යාම

කුමාරදාස - මාගේ වැඩිමල් පියාණෙනි.  ඔබ දකින්නට මා පැමිණියේ අවුරුදු ගණනාවකින්.


කාශ්‍යප - කුමාරය⁣ාණෙනි.



විශාල කලාගාරය හා කාෂ්‍යප

කුමාරදාස අතින් මහා කාව්‍යයක් කාෂ්‍යපට

කාෂ්‍යපගේ වර්ණ සකසන්නා

බෝධි හා උප්පලවන්නාගේ පැමිණීම

ඔවුන්ගේ සටන් විස්තරය




 





සිසිලසිනි දිය කදුර - තෙවන කොටස

 කවියෝ....උඹ දන්නව ද. මම කවියෙක් නෙමෙයි. කවියෙක් වෙන්න හීන දකින පුංචි ළමයෙක්. මට පුංචි ආදරයක මිහිර දැනෙමින් තියෙනවා. ඒත් ඒ ආදරය දෙන හිත දරාගන්න තරම් මම ලොකු කෙනෙක් නෙමෙයි. ඈත කඳුකරයක තරුණයෙක්ට කොහෙත් ම ඒ ආදර සිත පිළිගත්තත් ඉස්සරහට ලොකු අභියෝග ගොඩකට මූණ දෙන්න වෙනවා. මං හැම තැනම හොයමින් හිටියා ලස්සන ගෑනු ළමයෙක් හුඟාක් පොත් කියවපු. විශේෂයෙන් ළමා කතාන්දර හුඟක තමන්ගේ චිත්‍ර කුරුටු ගාපු ළමයෙක්. මට ඇත්තට ම ඒ ළමයා හම්බ උනා.

        ඒ ළමයා කැමති වෙන්නේ කවි ලියන කොල්ලෙකුට. දැන් ඉතිං මට කවි ලියන්න ම හේතුවක් හැදිලා. මං දන්නවා ඒ පුංචි කවිකාරි ඉස්සරහට මට ආදරය කරාවි. කරන්න දෙයක් නැහැ. මම උඹෙන් හෝ කවියක් හොරකම් කරන්න ද. ඒත් ඒක හුඟක් නරක වැඩක්. එළිසමය පොඩ්ඩක් වැරදුනත් මම ම කවියක් ලියන්නට හිතන්නම්. ඇත්තට ම කවි ලියන එක ලේසි නෑ. කොහෙන් ඒ කවිය ආවා ද දන්නෙ නැහැ. ඉතිං නරුමයෝ...මගේ හිතට ලස්සන කවියක් එනකම් මම බලා ඉන්නවා. මං දන්නවා උඹට හොඳ කවි සිතිවිලි එනවා කියලා. උඹ දන්නව ද. මට හුඟක් ළමා කතා මග හැරිලා. මම දන්නේ නෑ මේපල් කොළ. ලස්සන සුරංගනාවෝ. සිසරය ගිම්හානය හෝ සරත් සෘතු. මොක ද මට ළමා කතා මග හැරුණා.

 ඒ ගෑනු ළමයා ජීවත් වෙලා ම තියෙන්නේ පොත් එක්ක. චිත්‍රකතා පත්තර දැන් නාවාත් ඒ ළමයාගේ ගෙදර චිත්‍රකතා පත්තර හුඟාක් තියෙන බව කීවා. මම චිත්‍රකතා දැකලා  නැහැ. ඒ ළමය කියවන්න ආස දවසට එක චිත්‍රකතා එකතුවක් අතට අරගෙන කියවන බව කීවා. මම නම් ඒ කාලය කරුවල දොළේ වතුර එක්ක නටන්න වියදම් කළ බව කීවා ම ඒ ළමයා ආසාවෙන් උඩ පැනලා කිව්වා මෙහෙම.


මම පොත්වලින් හොයපු ලෝකය ඔයාට ඇත්තට ම ලැබිලා. මාවත් එක්ක යන්න පුලුවන් ද ඒ දිහාවට.


මම දැන් ඇත්තට ම ලබා දෙන්න ඕන උත්තරය මොකක් ද. ඒ ළමයාව ඇත්තට ම එහ රැගෙන යන්නට බැහැ. විසාල ගිරි දුර්ඝයක් තරණය කළාට පසුවයි කරුවල දොල හමුවන්නේ. අපි හිතන තරම් ඒ ගමන ලේසි නැහැ. 


වෙන දිහාවක ඒ වතුර ම⁣ට හමුවෙලත් නැති කොට මම කොහොම ද බොරු කරුවල දොලක් මගේ හිත දිනාගත්ත ළමයට පෙන්වන්නේ.

මට මතක විදියට මේ ළමයා මුළු ඉස්⁣කෝල පුස්තකාලයම ඉවර කරලා හය වසරේ ළමයෙක් කාලයේ දී ම. ඉතින් අන්තිමට ඇනා කැරණිනා පොත අමාරුවෙන් කියවන්න ගෙදර ගෙනියනකොට පුස්තකාල බාර මිස්ගේ ඇස් ගිහින් නලලෙ වැදිලා. 

ළමයො ඔය පොත ඔය ළමයට උස්සගන්නවත් පුළුවන් ද?. ඉතිං කවියෝ මං වැටිලා හිටියේ ලොකු අමාරුවක. ඇත්තට ම මට මං ගැන බයක් තිබුණේ ම නැති තරම්. හැබැයි ඊට වඩා විසාල කතාන්දරයක් ලියන්න සිද්ධවෙනවා. ඒක මම දන්නවා. 

මට ඉස්කෝලෙ පුස්තකාලයක් විතරක් තියෙද්දි මේ ළමයාට වයසේ හැටියට පොත් අරං දෙන පුරුද්දක් තිබී තියෙනවා. මගේ පුංචි ඉස්කෝලෙට තිබ්බෙ පොත් කබඩ් දෙකක් විතරයි. ඒත් මේ දැරිවිට පොත් කබඩ් බර ගානක් ගෙදර තිබී තියෙනවා. ඉතිං හුඟක් දුර කල්පනා කරලා මම තීරණය කරමින් හිටියා. හැබැය් මම ලෝකයට හුඟක් අමාරු තීරණ බාර දීලා ජීවත් වුණා.

මිනිස්සු ආදරය අහිමි කරගන්න හිතාවි ද. අහිමි ආදරයට වඩා කාලයට බලාපොරොත්තු බාර දෙන එක නේද හොඳ. 

ඉතිං පුංචි කවියෝ. අලුත් කවියක් පත්තරේ මම දැක්කේ නැහැ. හරිම අමාරු කාරියක් උනත් මම හිතන්නේ නෑ ඔබේ කවියක් සංස්කාරකතුමා අතහරීවි කියලා.

Thursday, June 13, 2024

භාව කාව්‍ය සම්ප්‍රදාය - සිංහල කාව්‍ය සම්ප්‍රදායට අලුත් ශානරයක්

 


"සිංහල භාව කාව්‍ය සම්ප්‍රදාය" මවිසින් රචනා කරන ලද කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යයනයෙහි තවත් එක් කෘතියකි. මෙහි දී විශේෂ අවධානය යොමු කරන ලද්දේ පාලි ථෙර ථෙරී ගාථාවන්ගේ අනුබලය ලබා ගොඩනගන ලද ලාංකේය කාව්‍ය සම්ප්‍රදායක් පිළිබඳ විමර්ශනයක් කිරීම ය. විශේ⁣ෂයෙන් පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ රශ්මි භාව කාව්‍යයෙන් නාමකරණය කළ මෙම සම්ප්‍රදාය යටතට මහගමසේකර කවියාගේ ප්‍රබුද්ධ කාව්‍ය ද අයත් වන බව මෙම පර්යේෂණයෙන් පැහැදිලි කරයි. එසේම නන්දන වීරසිංහගේ සත්‍යකාම නම් වෙමි කාව්‍යය ද සුමින්ද ගුණරත්නගේ ලුම්බිණි කාව්‍යය ද මෙම ප්‍රවර්ගයට අයත් නිර්මාණ වෙයි. 



       මෙම කාව්‍ය මාර්ගයේ ආරම්භය ථෙර ථෙරණියන් සිය ගමනෙහි ඵලයප්‍රාප්ත වූ කල්හී ප්‍රකාශිත උදාන වන අතර මාර්ටින් වික්‍රමසිංහගේ පරිවර්තනය සිංහල පාඨකයා⁣ට මෙම ථෙර ථෙරී ගාථා රස විඳීමට අවස්ථාවක් ලබා දීමකි. එම ථෙර ථෙරී ගාථා හා සිංහල කවියේ භාව කාව්‍ය ශානරය මෙහිදී යෝජනා කිරීමට සම්ප්‍රදාය අධ්‍යයනයක් සිදු කර තිබේ.  සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිය උදෙසා සිදු කරන ලද අවසන් වසර පර්යේෂණය වූ මෙම කෘතිය සිංහල කාව්‍ය අධ්‍යයනය කරන රසිකයා අතට පත් කරන්නට ලැබීම සතුටකි.



  
සිංහල කවියේ ස්වාධීන පරිචය ලෝකය ඉදිරියේ ගොඩනැගීමට බෞද්ධ සංස්කෘතික සාරයෙහි පසුතලය ලබා ගත යුතු ආකාරය මෙමගින් සාකච්ඡා කෙරේ. විශේෂයෙන් පාලි භාෂාවෙන් සිංහලය පෝෂණය වීම හා එමගින් සිංහල භාෂාවට ලැබුණු අනන්‍යතාව භාව කාව්‍ය හරහා අත්දැකිය හැකි වෙයි.




මෙම කෘතිය සයුරී ප්‍රකාශනයක් වන අතර මේ සඳහා නන් අයුරින් උපකාර කළ සියලු දෙනාට තුති පුදමි.

Wednesday, June 12, 2024

මං ඔයත් එක්ක එකඟ නෑ කාශ්‍යප

මම තාත්තව මැරුවේ නැහැ පුතා

කාශ්‍යප සෙමින් මවෙත සිහිනයෙන් කීවේ ය.

පුතා ඔය නටඹුන් චිත්‍ර බලල ම තීරණය කරන්න. මම ඒ වගේ නරක මිනිහෙක් වෙයි ද කියලා.








 ඔහු සිහිනයෙන්වත් සිතුවා නම් තවදුරටත් විශ්වවිද්‍යාලයේ මේ සිසුවා නවත්වා ගන්නේ නැත.

එහෙත් කන්නෙලියේ සිට පැමිණි මේ සිසුවා සතු ඇවිළෙන කාව්‍යාංකුරය පිළිබඳ ඔහුට ඉව වැටී තිබුණේ ය.

ඇයි විශ්වවිද්‍යාලය දාලා යන්න හදන්නේ. අපි හොයන්නේ ඔයා වගේ ළමයි. මේ විශ්වවිද්‍යාලය අවුරුදු පනහක් විතර බලන් හිටියා ඔයා වගේ ළමයෙක්එනකම්. ආපු ඔයත් යන්න යනවනම් අපි කොහොම ද උල්පතක් තියෙන මිනිහෙක් හදන්නේ. 

උල්පතක් නැති උල්පත්මැරුණු මිනිස්සු ඇවිත් මේවයෙ හිටගත්තා. අලුත් දලු එන්නෙ නැති බව දැනගත්ත ම එයාලට ගැළපෙන ගමනක් යන්න කල් මදි උනා. විශ්වවිද්‍යාල අයිති අලුතින් නිර්මාණය වන මිනිසුන්ට.

මොකක් ද මේ වෙලා තියෙන්නේ. ඇයි දලු දාන්නේ නැත්තේ.

ඒක කටු ඔටුන්නක්. ඒකෙන් ගැලවෙන්න  බෑ. 

කටපාඩමින් මතකයෙන් දිනන ක්‍රමයක් ඇතුලෙ දලු දාන මිනිහා හැමදාම තොළොන්චි වෙලා යනවා.


  

පිරිමි ළමයා පාරට එන විට ඔහුගේ ගමනේ අනාගතය තීරණය වෙයි. ඔහු අත තියන්නේ කොතැනට ද. ලොවක් බලා සිටිනා පළමු අත තැබීම ගිනි දලු ලෙසින් හෝ මිදුනු හිම ලෙසින් විය හැකි ය. පිරිමි ළමයා යෞවන වියට පත් වන්නේ ගැහැනු ළමයාට පසුව ය. ඒ යෞවනත්වය නිසා ම වයසින් බාල ගැහැනු ළමයකු වෙතට අවධානය යොමු වෙයි. 

කෝ මේ පිරිමි ළමයා. 

අම්මා තේ එකක් ගෙනැවිත් තබයි. 

ප්ලේන්ටිය පසුපසින් ඇදෙන තේ ගසේ කතාව දෙණි පෙතේ ද ලිවීම කෙසේ වේ ද. මම තෝරාගන්නා රැකියා

මගේ ලේඛන රිද්මය

මගේ ලේඛන රිද්මය කුමක් දැ යි සිතමින් මෙම පරිච්ඡේදය ලිවීම ආරම්භ කරමි. සාමාන්‍ය ලිවීමක් කළ හැකි පාසල් කාලයේ ඉඳ අවිධිමත් ලිවීමක් කිරීමට නිරන්තර පෙළ⁣ඹුන මම එම ලේඛනය ඉතා විධිමත් කතාවලින් අවසන් කිරීමට හෝ පරිපූර්ණ කතාවක් කර මුද්‍රණය කරීමේ කිසිඳු අදහසක් වූයේ නොවේ.

ඒත් එක දවසක් ගෙදරට ම වෙලා ඉන්න අපිට බැරි උනා. අම්මාත් තාත්තාත් නැති අතරේ ගේ සමීප මහා කඳුකර වනාන්තරයේ බාඳුරා බැලීමටත් ඒ බාඳුරා නොඉඳුල් අන්දමින් පානය කිරීමටත් ආසාවෙන් අපට වඩා දෙගුණයක් උස ලන්දක් තලව් කරමින් කඳු පේරියක් වෙතට ඇදුනා.

මිත්‍රවරුනි...

පිඹරෙක් ඉන්න තිබුණා

පොළඟෙක් ඉන්න තිබුණා

නයෙක් හෝ පළා පො⁣ළඟෙක් 

ඒ නැතත් කරවෙලෙක්

අපි තුන් දෙනාගේ ජීවිතේ ගන්න තිබුණා....

ඒ වගේ දින කීයක් පහු උනා ද. 

ඉති දෙබස් ලියන්න පටන් ගන්නේ මම මෙහෙමයි.

"සුදු අය්යේ. මෙහෙන් යමු."

මල්ලී ලන්ද අඩු තැනක් පෙන්වයි. අය්යා තලව් කරමින් ඇදෙයි. 

බාඳුරා සොයාගන්නට නැත.

මම හෙමින් බාඳුරා තිබූ තැන පාදමින් ගල් බෙයද අය්නට ගියෙමි.

"බලාගෙන. ගල අය්නට යන්ඩෙපා" අය්යා කියන අතර සෙමින් බිම පාදා බලන මට බාඳුරා සම්මුඛ විය.

"මෙන්න තියෙනවා"

මම සන්තෝෂයෙන් කෑ ගැසීමි.




Sunday, June 9, 2024

සිසිලසිනි දිය කදුර - දෙවන කොටස

ආදරණීය යෞවන කවිය, ඔබ ඉස් ඉස්සෙල්ලාම කවියක් ලී දවස මතක ද? එහෙම නැත්නම් ඔබ කවියෙක් වෙන්නට ඉස්තීරෙට හිතූ දවස මතක ද? මට නම් මතක හරියට ම අට වසරෙදි ප්‍රින්සිපල් මැඩම්ගෙ පුතාට කීවා. මම ලේඛකයෙක් වෙනවා කියලා. කවුරුවත් නොලී කටරොළු මල ගැන පුංචි සිංදුවක් ලිව්වා මතකයි. ඉතිං මේ සිංදුවේ අනාගත පද මොනවා නම් වෙන්න පුලුවන් ද? දොස්තර බබෙක් යන පාර පැහැදිලියි. ඉංජිනේරු බබෙක් යන පාර පැහැදිලියි. ඔය වගේ හුඟක් පාරවල් පැහැදිලියි. ඒත් කවියෙක් යන පාර පැහැදිලි වෙන්නේ කොහොම ද. මේ ලෝකේ හුඟක් දෙනා ඒක පාරක් ද කියලත් අහන්න පුළුවන්. 

ඉතිං එහෙම දරුණු පාරක් තෝරා ගනිද්දි ඒ පාරෙ ගිහින් අනාගතේ කාර් එකක් ගන්න පුළුවන් ද කියලා යාලුවෝ අහන්නත් පුළුවන්.  ඒත් එහෙම යාළුවෝ හිටියේ නැහැ. ඒ හැමෝට ම තිබුණා පුංචි තේ වත්තක් වවන්න ආසාවක්. කුඩා තේ වත්තක් කියන්නේ අපේ පුංචි යාළුවන්ගේ ලොකු ම හීනය. ඒ හීනයට යන යාළුවෝ කීප දෙනා එක්ක ඉස්කෝලෙ පිටිපස්සේ උස ම උස ගහේ පොල් අඹ ගෙඩි දෙක තුනකට ගල් ගහලා වරුවක් ම නැහිලා ඉගෙන ගත්ත දේ තමයි ඒ අඹේ කඩාගන්න  එක හරියට කවියක් ලියවුණා වගේ සන්තෝෂයක් බව.

ඉතිං පුංචි කවියාණෙනි. ඔබේ කන්නෙලිය පාමුළ ඉස්කෝලේ කතාවත් ඒක ම ද?  

අවුරුදු දහ තුනට දරාගන්න බැරි තරම් ඉස්කෝල පහක පහස ලබන්නත් ඕනාවට වඩා කඳුකර පාරවල්වල ඇවිදින්නත් ඒ වගේ ම මහා විසාල ගංගාවල කලුපාට වල්වල්වල පීනන්නත් සිද්ධ උනා ම ටිකෙන් ටික අකුරු අතෑරෙන්නත් බැලුවා. පහ ව⁣සරේ මෝඩ විභාගෙන් ලකුණු විසිපහක් අරං ඉස්කෝලෙ ගමන නවත්වලා දාලා හිටිය. අන්තිමට අම්මලාගේ ගෙදරිං අත්තම්මලාගේ ගෙදරට ගිහිං ඉස්කෝලෙ ගමනත් කඩා කප්පල් කරගත්තා.

ආවා අම්මා...

එක්ක ගියා ආයෙත්....

දැම්මා පුංචි කනිෂ්ඨෙකට   

අන්න එතනින් පටං ගත්තා...

ඉතිං කවියාණෙනි. උඹ දැනගන්න ඕනි මේ කතාව. එහෙම නැතුව මේ කතාවෙ හතර හන්දි ගලපන්න බෑ.  

උඹට කියන්න ඕනි අත්වැඩවලට චෛත්‍ය හදපු අපි කිරිමැටි පිරිමැද්දෙ කොහොම ද කියලා. කිරිමැටිවලින් චෛත්‍ය හදල කොස් කොළයක් අරං වතුරෙං තෙමලා උඩු පැත්තෙන් චෛත්‍ය මැද්දම දිලිසෙන දිලිසිල්ල හරියට මුළු රැයක් වැහැලා ගල්පොත්තකින් උදේ දිය වෑස්සෙනකොට ඉර එළිය වැටෙනවා වගේ ලස්සනයි.

දිලිස්මයක් ගහනවා....

ඉතිං කවියා උඹ මේ කතාවෙ මොන කොනකින් අල්ලගනියි ද කියා මම දන්නේ නැහැ. ගමක පුංචි කොල්ලෙක් දොලට නාන්න යන්නේ එක කලිසමක් අතිං අරගෙන. ඒ කලිසම ගලක් උඩ ති⁣යලා පැය තුනකට වඩා ඇස් රතු වෙනකං දොළේ නටලා උඩ එනකොට කොහේ හරි ඉන්න නරුමයෙක් ට ඕනතරං වෙලා ඇති ඒ කලිසමේ චූ පැටියා ගැවෙන තැන කොච්චි ටිකක් ගාන්න. උඹ දන්නවා ද. හයේ පන්තියේ ළමයෙක්ට එහෙම කරන විහිලුත් තිබ්බා කියලා. නාගෙන ඇඳුම් ඇඳං තේ වතු මැදිං කන්ද නගිද්දි කොහොමටවත් උහුලන්න බැරි දැවිල්ල අස්සේ කිලෝ මීටරටක් දෙකක් කන්ද මුදුනට දිව්වා යාලුවගේ ගෙදර පාරෙන් එන ඒමත් අතෑරලා. 

         ගෙට පල්ලෙ චූටි උල්පතින් උණ පීල්ලට එන වතුර ටිකට චූ පැටියව අල්ලගෙන පැයක් විතර හිටපු පුංචි දරුවෙක් ඒ දැවිල්ල ගැන කාටවත් නොකියා අමතක කරලා දැම්මා. ඒත් ඒ වගේ මිනිස්සු කී දාහක් උඹේ කකුල් දෙක පාවුලට එනකං කලිසම ගලවලා යට ඇඳුමක් නැති හෙළුවැල්ලට හිනා වෙලා ඇද්ද.

ඒත් උඹ හිතන්නේ ඒක නොදැනුවත් ගමකිං විතරක් වෙන වස වැරැද්දක් කියල ද.

ඒත් ඊට වඩා නරුම වැඩ විශ්වවිද්‍යාලවලත් සිද්ධ වුණා. අපේ බැච් එකේ කොල්ලෝ 34ක් කැලේට අරං ගිහිං ඇඳුං සේරම ගලවලා දස වද දීලා උන්ට කීවාලු මාව බැච් එකෙං අයිං කරනවාද හදාගන්නවා ද කියලා. අනේ අහිංසක උන් කියලා හදාගන්නවා කියලා .

පහුවදා පත්තරවල ඒ ප්‍රවෘතිය යද්දි  මගේ අහිංසක බැජියෝ ටික මාව හදන්න වින්ද වේදනා මතක් වෙනවා. මට මගේ හෙළුව මැජික් එකක් නෙමෙයි. ඒත් කවියා...මං ගේම ඉල්ලුවෙ වැඩිමහල් එවුන්ගෙන් විතරක් නෙමෙයි.

සදාකාලික පරපීඩිතයන්ගෙන්.....


ආදරණීය තරුණ කවිය...මම 31 රෑ කෙල්ලන්ගේ මෙට්ට පාටිය ගැන නොකිව යුතු ද. ඒක ගැන උඹ දැනගන්න ම ඕන. අන්න එතැන දී කඳුකරයේ විශ්වවිද්‍යාල කථාවකින් අහුමුළු අහු වෙන්න පටන් ගන්නවා. එදා 31 දා රාත්‍රියේ හුඟාක් පිරිමි නේවාසිකාගාරවල සාද පැවැත් වුනා.  ඒත් එක හොස්ටල් එකක කෙල්ලො මෙට්ට ටික සාලෙ මැද දාලා මෙට්ට පාටියක් දාලා තිබ්බා. මහා රැයේ පිරිමි හොස්ටල්වල බීලා කෑ ගහලා සද්ද කළත් වට පිටාවෙ උන් ඔය කොල්ලොනේ කියලා නිශ්ශබ්ද ව හිටියා. ඒත් අර මෙට්ට පාටියෙ ලස්සන සින්දු ටික වටේ මිනිස්සු පොලීසියට කතා කරවලා තිබ්බා. මිනිස්සු එහෙමයි පුංචි කවියෝ. පිරිමින්ට ඕන දහදුරා වැඩක් කරන්න පුළුවන් උනත් කෙල්ලන්ට එහෙම බෑ. 

          පොලීසියෙන් විශ්වවිද්‍යාලයට කතා කරලා විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂකට පැමිණිල්ල යනකොට අපේ ජ්‍යෙෂ්ඨයෝ මගේ බැජියන් ව ගෙන්නලා තමන්ගේ බැජ් එකේ කෙල්ලන් ව හදාගන්න බැරි උණාට තදට දොස් කියලා ගහලා තිබුණා. උන් උදේ පාන්දර එක ම යුද්ධයක්. ඒ මෙට්ට පාටිය දාපු කෙල්ලන්ට අමතන්න යන්න. ඒත් විශේෂ දෙයක් වෙමින් තිබුණා. එකෙක් මෙකේ අසාධාරණය වෙනුවෙන් කතා කළා. 

මම එන්නෙ නැහැ.

බැජ් එකේ අමුතු වෛරයකින් මා  එක්ක පැටලුණු එකෙක් තදින් මේකට එරෙහි උනා. 

මූ එන්නේ නැත්නම් මම එන්නෙත් නෑ. මාර අසාධාරණයක්නේ මේක.

අපේ හොස්ටල් එකේ බීලා සින්දු නොකිව්ව ද. කෑ නොැගැහැවුවා ද. ඒත් මේ වටේ කවුරුවත් කතා කළේ නැහැ පොලීසියට. ඇයි ඒ. අපි පිරිමි නිසා. හැබැය් ඒක කෙල්ලන්ට බෑ. ඒකයි පුරුෂෝත්තම දෘෂ්ටිවාදය මේවා ඇතුළෙ වැඩ කරන්නේ. 

ඉතිං මිත්‍රයා දෙවෙනි තුන්වෙනි වතාවලත් මගේ 34  දෙනාට පිටිං ගිහිං හුදෙකලාවට පත් උනා. මේ ලියන තරම් ඒක පහසු නැහැ. 

මගේ රොමාන්තික කතාවේ රළු තැන් ගැන ආරෝවක් ඇති කරගන්න උවමනා නැහැ. 

   

කඳුකරයක . . මුදුන්කර...ඈත ගෙදරින්....

මගේ ගෙය පිහිටා තිබුණේ සබරගමු කඳු වැ⁣ටියේ ම ය. සමනල කන්ද පරිවාර වුණු තවත් කඳු වැටියක් අපේ කඳු මුදුන වීය. සැබෑ ලෙස ම කීවොත් සමනල කන්ද තරම් හෝ බෑණ සමනල කන්ද තරම් අපේ කන්ද උස නැත. අපේ කන්ද යැයි මගේ කන්දට පැවමීමෙහි යම් ආත්මාර්ථයක් ඇත්නම් ඊට සමා වුව මැනවි.   බොහෝ අයගේ හුදෙකලා සිහිනය තිබුණේ උස් මුදුන් කඳුකරයක. හුඟාක් අයගේ හීනවල තියෙන කන්ද මුදුන ඇත්තට ලස්සන වන්න නම් අභියෝග රැසක් වෙයි. 

 දුර.....ඈත.....කන්ද මුදුනක පිහිටා තිබෙන ගෙදරට යාමට හොඳ යතුරුපැදි පුහුණුවක් අවශ්‍ය ම වෙයි. ඔබට කාර් රථයකින් ඒ කඳුකර දිවියේ සැමදා යා නොහැකි ය. පුංචි කැඩිච්ච බයිසිකල් කට්ටක් අරගෙන කඳු මුදුනේ සිට ක්ල්ච් එකෙන් යන ගමනක් ය එය. ක්ල්ච් බැලන්ස් බයිසිකයක ගමනක් යාම අලුතින් කතා පොතේ පරිච්ඡේදයක මම විස්තර කිරීමට නොසිතමි. යතුරුපැදි බොහෝ අයට පැදිය හැකි ය. හරියට බ්‍රේක් හා ටයර් හොඳ නැති මේ බයාසිකල් කබලක ඒ සිහිනය වෙත යන බහුතරයකගේ ගමන් සගයා වෙයි.

මේ කතාවේ තරුණ මානවකයන් දෙදෙනා දුශ්කර බව තවදුරටත් ඉගෙනගන්නට උත්සාහ ගන්නෝ නොවන්නේ ය. ඔවුන් අකුරු ගැන කතා කරන්නට පෙර කතා කළ යුතු සියලු බාදක බිඳ කඳුකරයෙන්  ආවෝ ය. 

ඉතින්....දුර......

ඈත.......

කන්දක් මුදුනේ......

තියෙන පුංචි......


කියන විශේෂණ සේරම තමන්ගේ නමට ම ලියාගත් කඳුකරයක ඒ නිවහන පිහිටා තිබුණා. ⁣ඉතිං එහෙම ඉඳලත් තැනිතලා තෙත් බිමක් කලවිටක් දෙණිකඩක් ගොඩැල්ලක් මොකට ද කියලා කෙන කෙනා හිතන්න පුලුවනි. ⁣එහෙම තමයි. මිනිස්සුංගෙ ආසාවල්. හැමදාම තේ වතු දැකලා දැකලා එපා වෙලා අන්තිමේදියි මං තේරුං ගත්තෙ. 

මට ගොයං ගහ මග හැරිලා කියලා....

එහෙමෙයි කියලා ගොයම් ගහ විතරක් ම මට ළඟට ගන්න බැහැ. තේ ගහත් මගේ ළඟට ම ගන්න ඕන. 

ඉතිං මගේ සුන්දර ගොයම් ගහ ශිෂ්ටාචාර කීපයක සිට පැරණි මිත්‍රයකු වගේ වී ඇටයක් අස්සේ හැංගිලා ඉන්න බව මං දැනං හිටියා.  

මිනිහා හැමදාම හිතුවෙ මං තේ දලු කඩන දිහාම බලං ඉඳලා සතුටු වෙයි කියලා. ඒක නම් වානා කියලා තමයි මහත්තයෝ කියන්න වෙන්නේ. මගේ කන්නෙලියේ තරුණ කවියා මට අධිවේගය අය්නෙන් සිහින කුඹුරක් හොයලා තිබ්බා. ඒ මගේ කලවිට දෙණිය නැත්නම් ගොඩැල්ල බව ඔබ දන්නවා. ඉදිරි දවසක සිහිනයෙන් මං ඇහැරෙන්නේ ඇත්ත භූමියක ඉඳලා බව මම් දැනගෙන හිටියා.

මනුස්සයෙක් බොහෝම කාලයක් කතාවක් ලියන්න තමුන්ගේ පෑන ලෑස්ති කරගෙන හිටියා. විශාල සැලසුම් වගේ ම විශාල මහන්සියක් කැපකරන්නත් බලාගෙන හිටියා. ඒක එළි දක්වන උත්සවයත් හිතින් මිනිහා සැලසුම් කරලා තිබුණේ. අපොයි වෙච්ච දෙයක්. ඒ කතාව ටික දුරකින් නැවතුනා. ඒ වගේ කතා දහයක් දොලහක් මග නැවතුනා ම තේරුං ගත්තා මිනිහට කවියෙක් වෙන්න මිසක් නවකතාකාරයෙක් වෙන්න බෑ කියලා. ඒත් එක දවසක මිනිහගේ පෑන මිනිහව ලියන්න පටං ගත්තා. ඒ කතාව මිනිහව කියවන්න පටං ගත්තා. විටෙක මිනිහට රිද්දන්නත් පැරණි තුවාල පාරන්නත් පටං ගත්තා. එදා සිට මේ දක්වා ගනිපු උත්සාහ දියට කැපු ඉණි බවට පත් උණත් අලුත් කතාව එහෙම උනේ නෑ. හැබැයි ඒ මහ දරුණු කතාව මේ මනුස්සයව ලියෙව්වා. ඉතිං මිත්‍රයා... මගේ පැමිණිම උඹ බලාගෙන සිටින බව මම දන්නවා. මම අධිවේගයට නැග ඉමදූවෙන් හරි කොක්මාදූවෙන් හරි බැහැල භූමියට එන දවසට අරගෙන එන්න හොඳ වක් පිහියක් ලෑස්ති කරගන්න ඕනා නේ ද? 

           පිහියක් ගේන්න මං ගියේ බෙලිහුල්ඔයට. මං දන්න පරණි ම කම්මල්කාරයො එහෙ ඉන්නවා. අවුරුදු හයදාහකට එහා යකඩ නිස්සාරණය කරන යකඩ උඳුන් හිමි මිනිසුන්ගේ සිට පැවතෙන මේ අඩවිය නියම යකඩයන්ගෙන් නිර්මාණය වෙලා තියෙනවා. වක් පිහියක් ම උඹට ඕන උනේ ඇයි. ගන්න පුලුවන් නේ උඹට කැත්තක්. ඔව් මිට දිග කැත්තක්.  ඔව් මං දන්නවා. ලේසි නැහැ උඹව පරද්දන එක. අනවශ්‍ය තරමට ප්‍රායෝගික ජීවිතෙයි කල්පනාකාර ජීවිතෙයි දෙක ම උඹ අත්විඳලා තිබුණා. සිමෙන්ති කොට්ට දෙකක් කොන්ක්‍රීට් එකක් තනියම අනන්න වගේ ම උඹේ අතට හොඳට පෑනත් හුරුවෙලා තිබුණා. ඒ හන්දා උඹ සාමාන්‍ය මිනිහෙක් උනේ නැහැ. 

              මං කම්මලට ගියාම උන් හිතුවෙ මම ළපටි පිහි ගැන නොදන්න පිටරැටියෙක් කියලා. හෙමින් හෙමින් මං පිහියක් තේරුවා. තට්ටු කළා. ත⁣ලේ කෙළින් ද කියලා බැලුවා. මාත්තු බැලුවා. පන්නරේ බැලුවා. බර බැලුවා. මටවත් කියන්න නොතේරෙන හොඳ පිහි පාවිච්චි කරපු මතක එක්ක පිහියක් තෝරාගත්තා. අමු යකඩ ගෙඩිවලින් හදපු කැති පාවිච්චි කරන උන් අතරේ පන්නරේ තියෙන හොඳ පිහියක් හොයාගන්න අමුතුවෙන් ඉස්කෝලෙ යන්න ඕන නැහැ.

               මම දැකලා තියෙනවා. කිසිම හැඩයක් නැති පිහියක් ටික දවසකින් පිහියේ හොඳ ම නැම්ම වෙච්ච වක්ක ළඟන් කැඩිලා යනවා. හොඳ ම පිහි තෝරන්න දන්න මිනිහත් මාත්තු ගිය පිහියකට අහුවෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක පිහිය හදන මිනිහා හුඟක් විට දන්නවා. ඒ නිසා හොඳ පිහියක් මිනිහෙක් ගනිද්දි නරක පිහි කීපයකට අහුවෙන්න පුළුවන්.  ඒත් හෙමි හෙමින් පිහියක් ගෙව ගෙවා පාවිච්චි කරන මිනිහා දන්නවා මේ පිහිය මොන වගේ ද කියලා. හොඳ පිහියක් ගොවියෙක්ගේ අතේ අවුරුදු පහක්  උනත් තියෙන්න පුලුවන්.

            පිහි ගැන මේ තරම් මම කියන්නේ ඇයි ද කියල ද හිතන්නේ. ඒකට හේතුව තමයි පිහියක තියෙන වැදගත්කම උඩයි කලවිට සාරවත් ද අසාරවත් ද කියන එක තීරණය වෙන්නේ. මං පිහියේ මිල ඇහුවා.  මිල සාධාරණයි. ඒත් මට තේරුණා මට කම්මල පෙන්නපු මිනිහා අත යටින්  ගානක් තියන් කිව්ව බව. මං එන්නං කියලා ඒ කවුරුවත් නොපෙනෙන දුරකින් තිබ්බ කම්මලට ගියා. මං පිහියක් තෝරාගත්තා. නැහැ. පිහිය මාව තෝරා ගත්තා.

       කතාවක් ලියාගෙන යද්දි මිනිහෙක් ඒ කතාව ලියනව ද. නැත්නම් කතාව මිනිහව ලියවනවා ද කියන ප්‍රශ්නය එනවා. කිකිලි ද බිත්තරේ ද මුලින් ආවෙ කියන ප්‍රශ්නය ම වගේ උනත් මෙතන වෙන කතාවක් තියෙනවා. මිනිහෙක් ලියන්න ගන්න බාසාව තීරණය කරන්නේ ඒ මිනාහ ද. එහෙම හැම මිනිහට ම ලියන්න පුළුවන් නම් හැමෝම ලියාවි නේ ද. ඒක එහෙම නැහැ. බාසාව තමයි මෙතන ප්‍රධානියා.  බාසාව තෝරගන්නවා මම කාගෙන් ද එළියට එන්නේ කියලා. මිනිහා තමයි බාසාව තමන්ගේ අවතාරයක් කරගන්නේ. මෙච්චර දවසක් කතා ලියන්න කොච්චර හදලත් ලියාගන්න බැරිවෙච්ච දේවල් කිසිම උත්සහයක් නැතිව ලියවෙනකොට ඕන ම එකෙක්ට තේරෙනවා බාසාවෙ තියෙන කුපාඩි ගතිය. ඒ කිව්වේ. කිපෙන ගතිය. බාසාවක් හරියට සද්ධන්ත ඇතෙක්ගේ මද වැගිරෙනව වගේ. ඇතෙක් කොච්චර සද්ධන්ත උනත් උගේ මද බේරෙන එක නවත්වන්න ඌට බෑ. ඒ වගේ තමයි බාසාව. ඌට උගේ කුපාඩි ගතිය නවත්වන්න බෑ. එයා ලියන්න ගන්නවා.  

      ගෙදර පූසා ඕනෑ ම විටෙක ඔබට වඩා පිරිසිදු ව සිටින බව හා ඌව වඩාගෙන බිම තැබූ  පසු අපේ අත්වලින් වූව අපිරිසිදු වූ බව හඟවන්නට කොතරම් නා ගන්නවා ද. එහෙව් පූසෙක් හැමදාම මගේ කාමරයේ සිටිමින් මා තනියෙන් නොවන බව කියයි. ඉතින් මේ හැන්දෑවේ ඉර රාස්සිගේ අව්ව ගිල්ල මොහොතේ කඳුකරයේ සිට ඈත ඉමදූව දෙස බලා සිටිමි. අපට ඉමදූව දකින්නට තබා ඒ පළාතවත් නොපෙනෙන බව සැබෑ ය. එහෙත් මහා කඳු උදේ හවස නැග පුරුදු මම තවදුරටත් තැනිතලාවක ඇති පුංචි ගොඩැලි ඉමදූව ගොඩැල්ලට ආසා කරමි. ඒ පාවුල ඇති පුංචි ගොයමට ආසා කරමි. මම කවියාට කීවා. මතක ඇතුව හොඳ උල්පත් වතුර පාරක් හොයන්න කියලත්. විශේෂයෙන් වහින කාලයට හොයන්නට එපා කියලත් කීවා. ⁣කවියෙක් උනත් අනුන්ට අහු වෙන මෝඩයෙක් නොවෙන බව කවියන්ට ම ගෞරවයෙන් කියන්න ඕන.


Saturday, June 8, 2024

ලාංකේය මහ කිවි කුමරදස් ඔබ

ලෝකයේ අග්‍රේස්සර කවීන් කොහි හෝ සිටියා ද එම රාජ්‍යයන් දුප්පත් රාජ්‍යයන් වනුයේ නැහැ. මොකක් ද මීට හේතුව. හොඳ කවීන් ව්‍යාපාර කළ බවද ඉන් කියවෙන්නේ. කොහෙත් ම නැහැ මහ කවියාණෙනි. මහා කවීන් ගොඩනැගීමට සමත් වූ ශිෂ්ටාචාර අතිශය සමෘද්ධිමත් වූ බව. ඔබගේ රාජ්‍ය කලාව ගැන ඉතා උනන්දු වූ බව දන්නවා. එය සැමදාම පවත්වා ගත යුතු යි. අපේ ඉන්දියානු රාජ්‍යයට බුදු දහම පවත්වා ගැනීමට ශක්තිය මද වූ බවයි දැනෙන්නේ. එහෙත් ඔබ රාජ්‍ය ශක්තිමත් ව පවත්වා ගැනීමට සමත් වූ බුදුදහමක් ඇතිව සිටිනවා.

            කෙසේ නමුත් කොහොම වෙතත් අපි කවීන් විදියට හුදෙකලාවට පත්වන යෞවනයන්. අපි වෙනුවෙන් පෙනී සිටින්නට කිසිවකුට බැහැ. අඩුම තරමේ කවියෙක්ටවත් තව කවියෙක් වෙනුවෙන් පෙනී ඉන්නට බැහැ. එය හරියට මා වෙනුවෙන් ඔබට කවි ලියන්නට බැහැ වගේ. ඒ⁣ වගේ ම ඔබ වෙනුවෙන් මට කවි ලියන්නට බැහැ වගේ. අපේ මේ එක ළඟ ඇති රාජ්‍යයන් දෙකේ සිට ලෝකයට ලිවිය යුතු මහා කතාන්තර ගොඩක් තියෙනවා නොවේ ද. ලෝකය ගිනි මත නිරන්තර සිටගන්නා විට අපිට ඔවුන් වෙතට ගෙන යා යුතු කලාවේ පණිවිඩය මහ දෙයක්.  

                 ඉතින් මිතුර . . . .ඔබගේ නව කාව්‍ය ජීවිතය කෙසේ ද. ඔබ කීවා නොවේ ද. ඔ⁣බගේ සීගිරි පර්වතයට එන යන සංචාරකයන් කවි ලියන වග කැටබිතක.  මටත් ඒ තැන දැකගන්නට ආසයි. එය ඉතා රමණීය භූමි භාගයක් වන බව මට ද විශ්වාසයි. ඉතාමත් දුර පේන මහා වනාන්තරය සමග මම ද දෑත් දෙපසට විහිදුවාගෙන කල්පනා කරන්නට ආසයි. කුමක් ද මේ තැන යන්න. 

                                           කවුරුන් කවුරු වෙනුවෙන් ලිවිය යුතු ද යන ගැටලුව පැන නැගෙනවා. මා සූදානම් වෙමින් තියෙනවා සුන්දර නාට්‍යයක් ලිවීමට. ඔබ එය දකින්නට එනු ඇතැයි මා සිතනවා. අදට මම නවතිමි මිතුර.

මීට හිතවත්

කාලිදාස

Friday, June 7, 2024

කාලිදාස වෙත

            හිතවත් කාලිදාස. මම සිටින්නේ දෙවෙනි මහලේ කාමරයක. පුංචි මේසයක් ඇඳක් හා විශාල පොත් රාක්කයක් තිබෙනවා. දෙවෙනි තට්ටුව නිසා බිම ලීවලින් පොළොව සකසා ඇත්තේ. කුඩා පූස් පැටවෙක් කීවත් එයා අවුරුදු කීපයක් වයස පූසෙක් මගේ ලියන මේසයේ රැඳී සිටිනවා. එයා බොහෝ විට නිදිමත සැදුණු ගමන් නිදාගන්නා පූසෙක්. මේ කාමරයේ තියෙන එක් එක් නානාප්‍රකාර දේවල් මම ඔබට පැවසීමේ මහා තේරුමක් නැහැ. ඒත් ඔබට ඒ ගැන අදහසක් ඇති කර ගැනීමෙන් සිතට රූපයක් ගොඩනගා ගත හැකියි මම මොන වගේ තැනක ද ඉන්නේ කියන එක.


         මේ රජ මාලිගවලින් මිදිලා මට යන්නට උවමනා පුංචි කලවිටකට. කලවිට කියන්නේ පුංචි කුඹුරක් හා එළවළු වැවූ වතුර යහමින් ඇති මඩ හා ගොඩ ගොවිතැන් දෙක ම ඇති භූමියකට. එතැන කුඩා අතු පැලක් අටවාගෙන සිටින්නටයි උවමනා. මම ලංකා රාජ්‍ය පාලනය කිරීම තවදුරටත් නොකරන බවත් කිසියම් කැමැත්තක් සුදුසුකමක් ඇති කෙනෙකුන් ඒ සඳහා යොදාගන්නැයි ඉල්ලා සිටියා. එවැනි දෙයක් ඉතා නින්දා සහගත කටයුත්තකැයි සැලකීම බොහෝ අයගේ විදියයි. මම මෙකී රාජ්‍යයේ අසමත් පාලකයෙකු විදියට නම් දරාවි. ඒත් ලෝකයේ පුංචි ම හෝ කවියකින් තවත් කෙනෙක් රසභාවයට පත් කරන ලද මිනිසකු වන්නට ඇත්නම් අන්න ඒ ආශාවයි මා සංතෘප්ත කරනුයේ.  

         මා අසා තිබෙනවා ඔබේ බොහෝ රමණීය නාට්‍ය පිළිබඳ ව. මෙරට දී මම ඔහේ මෙන් නාට්‍ය බැලීමට හැකියාවක් ලැබූයේ නැහැ. ඔබ දන්නවා ද මගේ වම් ඇලයට වන්නට සුරතල් පූසා නිදා සිටිනවා. ඔහු ලේසියෙන් කෙනෙක්ට තුරුලු වන්නට කැමති පූසෙක් නොවෙයි. එසේ නම් ඇයි ඇය මෙමට තුරුළු වී සිටින්නේ. මිනිසුන් සමගින් කටයුතු කිරීමත් සතුන් හා කටයුතු කිරීමත් දෙකක. ඔබ දන්නවා ද. එක්තරා පර්වතයක් තිබෙනවා. ඔබේ කලින් ලියමනේ ත් ඒ ගැන සඳහන් වෙනවා. එහි බිත්තියක යන එන්නන් කවි ලියනවා. මා එහි ගිය විට එකවි කියවනවා. 

           සීගිරිය කියන්නෙ තමන්ට අහිමි වෙච්ච කලාකාමී ජීවිතය අහිමි වෙච්ච කවියෙක් ඒ ජීවිතය ලං කරගන්න ගත්ත අහිංසක උත්සාහයක්. ඒ රමණීය සොබාදහම විඳින්න කාලයක් පුරාවට ඔහුට හැකි වූවා ද යන්න මා දනුයේ නැහැ. සීගිරි මුදුනට නැග ජීවිතය විඳින්නට පුළුවන්. ඒ ගැන කවි විසල් ප්‍රමාණයක් කැටපත් පවුරේ ලියා තිබෙනවා.

                      මා දන්නවා. රජෙකුට ලියන්නට ඕනෑ තරම් තල්පත් සූදානම් කර ගත හැකියි. ඒත් එහෙම ලියන්නට උවමනා අදහස් සොයාගන්නේ කොහොම ද. ලේසියෙන් අදහස් ගලා නොඑන විට කටයුතු කළ යුත්තේ කොහොම ද කියා හිතෙනවා. සාමාන්‍ය මිනිසෙකුගේ සිතිවිලි ක්‍රියාවලි කවියෙකුට අහිමි බව මම දන්නවා. ආදරණීය කවියාණෙනි. ඔබත් සමග වැව් බැම්මක ඇවිද යාම මම ප්‍රාර්ථනා කරනවා. මට පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන රාජ්‍යත්වයෙන් මා ගලවා ගැනීමට සහය වනු මැනවැයි ඉල්ලා සිටිනවා.


මීට 

කුමාරදාස

කුමාරදාස වෙත

හිමාලයේ උස් මුදුනේ සිට ලංකාද්වීපයේ උස්ම කඳු මුදුනකට කතා කරනවා වැනි හැඟීමක් මවෙත දැනෙයි. හිතාදර කුමාරදාස කවියාණෙනි. ඔබ ලංකා රාජ්‍යයේ කිරුළු පලන් බව ඇසීම මට කුඩා සතුටක් ද මහා වේදනාවක් ද රැගෙන ආවා. කවියෙක් රාජ්‍යත්වයට පත් කිරීම හොඳ ද නරක දැයි මා දන්නේ නැහැ. එනමුත් ඔබ වැනි කවියෙකු ලෝකයට නැති කිරීමට මා කැමති නොවන්නේ.

මේ හසුනක් ලැබෙන්නට යන කාලය අනාගතයේ අඩු වේවි. ඔබ මෙහි ගත කළ කාලයේ අපගේ කතා බහ කොතරම් අපේ අදහස් සුවිපුල් කළා ද? ඉතා සුන්දර රාත්‍රීන් විවිධාකාර වනස්පතීන් සමග අප ගත කළා නොවේ ද. ඔබ ලියූ කවිත්  මා ලියූ කවිත් එකිනෙක කියැ වූ ඒ සුනදර රාත්‍රීන් කොතරම් අප ප්‍රබෝධමත් කළා නොවේ ද.

මා අසා තිබෙනවා ඔබේ පියාගේ අය්යා පිළිබඳ ව. ඔහු සිතුවමට බොහෝ ප්‍රිය කළ සහෝදරයකු බව මා දන්නවා. මහා සීගිරි ආලකමන්දාව ලෝකය පුරා ජනප්‍රියයි. එවැනි කලා ගෘහයක් ඉන්දියව ද ප්‍රාර්ථනා කරන දෙයක්. 

අප විවිධ කාව්‍ය කොතරම් ප්‍රමාණයක් ලියනවා ද. ඒ හැම කාව්‍යක ම තැවරී ඇති වේදනාවන් කතා කිරීමට අපට තවත් කවියෙකු සි⁣ටීම කොතරම් හොඳ ද. මේ රාජ්‍යන්වලට කවීන් පහළ වීමේ දුර්ලභ බව කවුරුත් දන්නේ නැහැ. කවියෙකුගේ බල පරාක්‍රමය හා එහි වටිනාකම මිනිසුන් දන්නවා නම් ඔවුන් එරෙහි වන්නේ  හා යුධ වදින්නේ කවිකම හා සමඟ. හිතවත් කුමාරදාස...අප අතර ඇති මහා යුද්ධය කවිකම හා සමග අප කොතරම් ඊර්ෂ්‍යා සහගත වනවා ද?

ඔබගෙන් ලෝකයට අලුත් සිතුමක් නිර්මාණය කරන්නට වෙහෙසෙන විට මම දනිමි. ඔබ කොතරම් දෙගිඩියාවටත් අවිනිශ්චිතතාවටත් ලක් වනවා ද කියා. කවියෙකු හා නිර්මාණකරුවෙකු තවමත් ලියා අවසන් නොකළ නිර්මාණාත්මක යමකට ප්‍රතිචාරයක් නොලැබුණු විට දන්නේ නැහැ එහි අගය පිළිබඳ. ඔහුට තක්සේරුවක් ප්‍රතිචාරයක් නිරන්තර බලාපොරොත්තු වනවා ඒ පිළිබඳ ව. 

ඉතිං කුමාරදාස. ඔබ තව කොපමණ කාලයක් ඔය කටු ඔටුන්න දරාගෙන සිටීමට අපේක්ෂා කරනවා ද.  ඉතා ඉක්මනින් ඔබ ලිවීම් කටයුතු කෙරෙහි ම සිත යොමු කරනවාට මම සතුටු වෙමි. මිනිසුන් සිටින්නේ නිර්මාණ නොමැති වීමෙන් නිර්මාණ හිග වී. මේ ලෝකයට අර්ථ සපයන්නට කවීන් නොසිටියොත් ඔවුන් ඔවුන් මත ම අවසන් වෙනවා. ශිෂ්ටාචාරය අවසන් වන්නට පටන් ගන්නවා. කවියා භාෂාව හදන්නට උත්සාහ ගැනීම මත තමයි ලෝකය තවදුරටත් තීරණාත්මක ව පවතිනුයේ.

මා විටින් විට ලියනුයේ ඔබටයි. ඔබ ද මාගේ පරිකල්පන ලෝකය පෘථුල කරනු ඇතැයි මා සිතනවා. 

Wednesday, June 5, 2024

කාෂ්‍යප නවකතාව - 1 කොටස

           

මහානාම හිමියෝ උදෑසන පුංචි ධාතුසේන කුමාරයාත් රැගෙන ඇල වෙතට යාමට පිටත් වූයේ පුංචි කුමාරයා තාත්තාත් අම්මාත් ඉල්ලමින් හඬන දුක්වන වේදනාව ටිකක් හෝ අඩු කරනු පිණිස ය. වතුරත් පුංචි මාලු පැටවුණුත් දක්නා විට ධාතුසේන කුමාරයාගේ වේදනාව අඩු වෙයි. පුංචි දණ්ඩි මාලුවන් සිය ඇලපත පෙනෙන්නට පසෙකට හැරෙද්දී දිලිසෙන අයුරු දකින්නට කුමාරයා පුදුමාකාර ආසාවකින් පෙළෙයි. මේ පුංචි කුමාරයා රාජ කුමාරයකු බව දන්නේ තමන් වහන්සේ පමණකි. කුමරුට ආරක්ෂාව සහ විශේෂත්වය ලබා දීම සිදු කළ යුතුවා මෙන් ම ලංකා රාජ්‍යයේ කිරුළ හිමි වන්නේ ධාතුසේන  කුමරු බව කිසිවකුට නොදැනෙන්නට කුමරු ආරක්ෂා කළ යුතු ය.  

          පුංචි කුමාරයා උදෑසන පිනි මතින් පය තබමින් එයි. ඔහුගේ ළමා ගමන පියෙකුටත් මවකටත් සිත කොතරම් පුරවන සුළු විය හැකි ද? දරුවකු දකින දෙමාපියන්ගේ සිතට දැනෙන සන්තෝෂය මේ යැයි භික්ෂුවකට කිව හැකි ද? කුමාරයා එක වරම නැවතී කුඹුරේ ගොයම් පැළයක් දෙස බලා සිටියි. මහානාම හිමියෝ නැවත ආපසු ගොස් කුමාරයාගේ අවධානය ගත්තේ කුමක්දැයි බැලී ය. 


               අහා...ඒ බත් කූරෙකි...


ගොයම් පැලයක් උඩ සිටි බත් කූරා ඕනෑ ම දරුවෙකුගේ අවධානය ඉතා ඉක්මනින් දිනා ගන්නට සමත් වෙයි. මේ පුංචි පුංචි පුදුමයන්ට දරුවකුගේ සිත ගැනීමට ඉතා ඉක්මන් හැකියාවක් තිබේ.  සෙමින් සෙමින් අත දිගු කරත් ම උහු ඉගිළ වෙනතක ගියේ ය.

  ඒ බත් කූරෙක්. 

ගොයම් ගහ උඩ ඉන්න හින්ද ද හාමුදුරුවනේ ඌට බත් කූරා කිව්වේ..?

අහා ....මේ සිඟිත්තාගේ තර්කන ශක්තිය හරි ම අපූරුයි.

ගොයම් ගස බත් ගස නොවේ ද? එසේ නම්....මේ ගොයම් ගස උඩ සිටි කූරා බත් කූරා වී ද? 

ඒක නම් මමත් දන්නේ නැහැ. 

ලොකු හාමුදුරුවො නොදන්න දේවලුත් තියෙනව ද?

අපොයි ඔව්.

හැබැයි තාත්තාත් අම්මාත් කිව්වේ ලොකු හාමුදුරුවෝ නොදන්න දෙයක් නැහැ කියලා.

ආ එහෙම කියන්නේ හුඟක් දේවල් දන්නවාය කියන්න....

හැබෑට...

අද උදේ ම ඇලේ නාන්න ලොකු හාමුදුරුවන්ට ආස හිතුන ද?

නැහැ. පුතාව එක්ක එන්නයි ඕන උනේ....

ඇයි මුළ රෑම මම අඬපු නිසා ද?

මහානාම හාමුදුරුවෝ කුමාරයාගේ දෙඅත් දෝතින් අල්ලා ගත්තා ය. මේ තමන්ගේ අක්කාගේ පුංචි පුතා ය. ඔහුට තමන් මාමා හාමුදුරුවෝ  ය. දරුවෙකුට තබා වැඩිහිටියෙකුටවත් තමන්ගේ තාත්තාගෙන් මිදී වැඩි දවසක් දුරක සිටින්නට නොහැකි ය. තමන්ගේ අම්මා දැක බලා ඇප උපස්ථාන කිරීමට නිරන්තරයෙන් උන් සිටිනා තැනකට යාම මහානාම හිමියෝ ද සිදු කරති. එසේ තමාත් කරන කලට මේ පුංචි කුමාරයාට අන් කවරක් කියම් ද?

අපි අද දණ්ඩි බලමු. 


උන් අද නටයි ද ලොකු හාමුදුරුවනේ.

දණ්ඩි හැමදාමත් නටනවනේ. උන්ට නැහැනේ මිනිස්සුන්ව බලාගන්න.

ඒ කියන්නේ අපිට මිනිස්සුන් ව බලාගන්න තියෙනව ද.

ඔය තේරුණේ පුංචි කුමාරයට....

මෙතැන නාන්නට ඇත්තේ කුඩා ගල් පොත්තකින් අවහිර වී සැදුණු කඩා ජල  තටාකයකිනි.

මහානාම හාමුදුරුවන් හා ධාතුසේන කුමාරයා අතර ඇති සුහද බව සමීප බව වචනවලට  ගැනීමට හාමුදුරුවන්ට නොහැකි ය. තමන් භික්ෂුවක් බව කියන තැන සිට උන්වහන්සේ කුඩා කල සිට කුමාරයා හා පවත්වා ගත්තේ දූරස්ථ සබඳතාවකි.

කුමරුන්ව ආක්‍රමණික මංකොල්ලකාරීන්ගෙන් බේරා ගැනීමට උපාය උපක්‍රම බොහෝ ප්‍රමාණයක් ගැනීමට සිදු වන බව උන්වහන්ටසේ දන්නා සේක.

පිරිවෙනෙහි සිටින අන් සමෙණේර වහන්සේලා අතර කුමාරයා තැබීමට ද නොහැකි ය. කුමාරයාගේ විශේෂතාව කුමක් දැයි ආරංචි උව හොත් වනුයේ බලවත් විනාශයකි.

අද අපි පීනන්න ඉගෙන ගනිමු. මහනාම හාමුදුරුවෝ පුංචි ගං දියේ පිහිනීම කුමාරයාට පුරුදු කරයි.



අපිට වතුරක හුඟක් වෙලා ඉන්න උනොත් දියේ ගිලෙන්නේ නැති වෙන්න නම් අපි උඩුබැලි අතට ඉන්න ඕන. තමන්ගේ නහයයි කටයි විතරක් වතුරෙන් උඩට අරගෙන අත් දෙකින් වතුරට මාලුවෙක් වගේ යටි පැත්තට ගහන්න ඕන. අහස දිහා බලාගෙන දගලන්නේ නැතිව. 

ඕන්න මම කොන්දෙන් අත තියන් ඉන්නවා. කරමු බලන්න....

දෙතුන් වරක් කලබලෙන් කළ ඉගෙනීම ටිකකින් ධාතුසේන කුමාරයා ඉගෙන ගන්තේ ය. 

ඔය විදියට වරුවක් උනත් ඉන්න පුුුළුවන්. තමන්ගේ ශක්තිය වියදම් කරගන්නේ නැතිව මේ විදියට ඉන්න පුළුවන්. හරියට ම කිව්වොත් තමන්ගේ අත්ලෙන් විතරක් පුංචි තල්ලුවක් දුන්නොත් ගං දියේ ඉන්න පුළුවන්. හැබැයි මුහුදෙ නම් එහෙමවත් ඕන නැහැ. වැඩි රැල්ලක් නැත්නම් නහයයි කටයි විතරක උඩට තියන් ඉන්න පුළුවන්. මතක ඇතුව නලල වතුරෙන් උස්සන්න ඕන නැහැ. එහෙම කළොත් වැඩි ශක්තියක් උවමනා වෙනවා. 

හරි දැන් අපි යටි අතට පීනමු. අපිට වේගයෙන් පීනන්න උනොත් වැඩියෙන් ම උවමනා වෙන්නේ මේ ක්‍රමයට පීනන එක. මම බඩ යටින් අත තියන් ඉන්නවා. අත් දෙකින් වතුරට ගහනවා වගේ අත් කරකවමින් ඉස්සරහට ඇදෙන්න ඕන.

ඔව්....කුමාරයා සෙමින් ඉගෙන ගනියි. මේ වයසේ දී ඉගෙන ගන්නා බොහෝ දේ ඉක්මනින් ධාරණය වෙයි. තනියම ඉගෙනගන්නට හැරිි මහානාම හාමුදුරුවෝ සිවුරු සෝදා අව්වේ දමා තමාද පැන් පහසු වී ගත් සේක. එහාටත් මෙහාටත් පනිමින් පුංචි කුමාරයා නොබිය ව පුංචිකමට තමාගේ ගෙල තෙක් ඇති වතුරේ  පීනමින් සෙල්ලම් කරයි. මාලු පැටවුන් සොයමින් දිය යට එබෙයි.

පුංචි ළමයෙකුගේ ලෝකයේ මාලුවා අහසේ පාවෙන සරුංගලයකටත් වඩා විශ්මසහගත ය. මාලුවන්ගෙනුත් වතුරෙනුත් සන්තෝස වන දරුවා ලෝකයේ බොහෝ දෑ ඉක්මනින් ඉගෙනගන්නා තත්ත්වයට පත් වෙයි. 

කුමාරයා නා පිරිසිදු වූ පසුව දෙදෙනා නැවත විහාරයට ආවේ වෙල අද්දර දිගේ ය. අටෝරාසියක් ප්‍රශ්න වැලකින් හාමුදුරුවන් ව හෙම්බත් කිරීමට ධාතුසේන කුමාරයා සමත් ය. ⁣කුමාරයා තවත් තමන් ළඟ ම තබා ගැනීම ඒ තරම් නුවණට හුරු දෙයක් නොවේ. උන්වහන්සේ විසඳුම් දෙකක් කල්පනා කරමින් සිටියේ ය. ඉන් එකක් වන්නේ තමාගේ රැකවරණය ඇති නිවසක රැඳවීම ය. එහෙත් එය යම් අවධානම් කටයුත්තකි. ඊට මුහුණ දීමට සමත් පවුලක් හා ශක්තියක් ඇත්තෙකු විය යුතු ය. සිය දිවි දෙවෙනි කො⁣ට රකින්වාටත් වඩා කුමාරයා රැකිය යුතු වස්තුවක් වෙයි. මෙරට ආක්‍රමණික මංකොල්ලකරුවන්ගෙන් රට බේරා ගැනීමට හැකි වන්නේ සියලු දෙනා පිළිගන්නා රාජ්‍ය නායකත්වයක් ගොඩනැගීමෙනි.

⁣ඊට ලබා  දිය හැකි දෙවැනි විසඳුම වන්නේ කුමාරයා කෙටි කාලයකට පැවිදි කරවීමයි. එසේ පැවිදි කළ කල්හී තමන්වහන්සේ සමීපයේ ම තබා ගනිමින් ආරක්ෂාව හා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙයි.  කුමාරයාට ශිල්පශාස්ත්‍ර අහිමි කරවීමට නොහැකි ය. ඒ සඳහා හැකි පමණ උත්සහ දැරිය යුතු වෙයි. මහානාම හිමියෝ අවසානයේ එළඹුණු නිගමනය වූයේ කුමාරයා පැවිදි බිමට ඇතුළත් කර ගැනීමටයි. දැන් සියලු දෙයට සැලැස්මක් ගොඩනැගිය යුතු ය. එක් සැලැස්මක් නොව සැලසුම් කීපයක් මේ සඳහා ගොඩනැගිය යුතු වෙයි.  

එළඹෙන වෙසක් පෝදා අනෙකුත් කුලදරුවන් හා කුමාරයා ද  පැවිදි කළ යුතු බවටත් මේ පිළිබඳ විහාරයේ භික්ෂූන් හා කථිකා කර ඉක්මනින් මහා විහාරයේ නායක හිමිවරුන් හා කථිකා කළ යුතු වෙයි.

මට හාමුදුරුවනේ මේ වැවේ මෙගොඩ ඉඳලා එගොඩට පීනන්නත් පුලුවන් වෙයි ද? 

අපොයි ඔව්. හිතේ බය නැත්නම් පුලුවනි. ඒත් හොඳට පීනන්න පුරුදු වෙන්න ඕන. මුලු ඇඟ ම ශක්තිමත් වෙනවා හොඳට පීනන්න පුලුවන් වෙනකොට.

එහෙනම් අපි හැමදාම යමු දොලේ නාන්න. එතකොට මට හොඳට පීනන්න පුලුවන් වෙයි. 

පීනලා ම විතරක් මදි. අකුරු ඉගෙනගන්නත් ඕන. සෙල්ලං ඉගෙන ගන්නත් ඕන. පුංචි කුමාරයා කැමති ද මහණ වෙන්න. 

ටිකක් කැමතියි. අම්මලා ළඟට යන්න බැරි ද එතකොට.

අපොයි නැහැ. අම්මලා තාත්තලා ව බලාගන්න පුලුවන් අපට. හුඟාක් හාමුදුරුවෝ ඉන්නවා තමන්ගේ අම්මලා තාත්තලා ව බලාගන්න. 

ලොකු හාමුදුරුවනේ මට කලින් නම් කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් පොඩි හාමුදුරුවෝ එක්ක ඉද්දි ආස හිතෙනවා. කොච්චර ලස්සන ඇඳුම් ඇන්දත් සිවුරක තියෙන්නේ වෙනස් ලස්සනක්....

කුමාරයා හරි. සරලකමේ තියෙන ලස්සන තමයි ඒ....

පන්සලට එන විට දහඩිය ද දමා තිබු මුත් හමා යන සුළඟින් ගතට සිසිල ⁣දෙයි. මම දානෙ වළඳන්න යනවා. දං ගෙයි පුතාට කෑම ලෑස්ති කරලා තියෙනවා.

කුමාරයා කුටියට දිව ගියේ ය. ගතයුතු විශාල තීරණ ප්‍රමාණයක් වේ.ඉතා ඉක්මනින් අනෙකුත් සාමණේර වහන්සේලා ළඟ සාමාන්‍ය ළමයෙකු මෙන් පැවිදි කිරීම කුමරාගේ ආරක්ෂාවට ගත යුතු ම වූ පියවරක් වෙයි. රටේ අස්සක් මුල්ලක් නෑර ආක්‍රමණිකයන් මංකොල්ලකරුවන් ඔත්තුකරුවන් ධාතුසේන කුමාරයා සෙවීමේ කටයුතු කරන බව මහානාම හිමියෝ දැන  සිටියේ ය. 


හිස මුඩු කර සිටි ධාතුසේන කුමාරයා පැවිදි බවට පත් කිරීමෙන් පසු සුධාර නමින් උන්වහන්සේ හඳුන්වා දෙන්නට මහානාම හිමි කටයුතු කළේ ය. සුධාර සාමණේරයෝ ශිල්ප උගෙනුයේ ශාස්ත්‍ර කටයුතු පමණක් ම නොවේ. උන්වහන්සේ රාජ කුමාරයකු උගත යුතු සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම ඇරඹුවේය.