Tuesday, June 14, 2022

අනේ ඒ හඳ එළියෙ...මල් සුවඳ එතෙනවා


කිසිඳු දිනයක සුවඳ විලවුන්

නොගැටුණු බිමකි රුක්ෂස

මමිතර පතුරුවා සුවඳ පස

හඳ එළි⁣ය හා සමග


රෑ කුමාරි මල් එහෙමය

උහුලා ගත නොහැකි තරමට

පතුරන්නීය සුවඳ පස

ඒත් මේ පසළොස්වක් පොහොය දවසය


වටකුරුව පූර්ණව පායා තිබේ සඳකත

ගෙට නොයා රැකගනිමි සඳය මේ වැගිරෙන

කඳු පුරා තාවරව සිටින සුදු එළිය මැද

කවි බසයි මමයි දැන් පැටලිලා දස අතක








කහට මුට්ටිය

 


තේ වතු යාය මැද

තේ මුට්ටිය පැසේ

හතර කොනින් එන සුළඟින්

ගිනි දලු හැම මැවේ


ගිනි දලු මැද තේ දලු රස

කහට බොන්න පුතේ

තේ දලු මඩි බිම තියලා

පැලට එන්න දුවේ


දුම් දමමින් පැල වටකර

කහට බොන්න වෙලාවයි

පැල පැත්තෙන් දුම් නගිනා

විටම තිබහ ගොඩයි


පොඩි දලු මඩි ලොකු දලු මඩි

එකතු කරන් පැලට එන්න

තේ කුඩු ටික පැසවාලා

කහට බොන්න වෙලා පැමිණ








Monday, June 13, 2022

පළමුවෙන් හිරු දකින මිනිසුන් ය

 


අරුණැල්ල වැටුණේ

පළමුවෙන් උහු මුහුණටයි

උදලු ඔසවා ගසද්දී

කැත්ත ඔසවා ගසද්දී

අරුණැල්ල සිම්බේ එයයි


පළමුවෙන් හිරු දකින මිනිසුන්ය

දිවියට ළඟා වූ මිනිසුන් ය

පොළොව ගහටා

මල්ඵල පැතූ ගොවියන්ය


වියත් ජන සබා මැද

විසල් මන්දිර යාන වාහන

ඔවුන් පිළිකෙව් කරන මිනිසුනි

නිවූ කුසගිනි සදා ණය වන


හිරු සිඹ ගත්ය ඵලවැල

ඔබ වෙතට පත්ය සිසිමය

නිමවා සියලු සාරය

ගයනා ගී තිබේ  නිමවුණ












විහිලුවක් එහෙමත් කළ යුතු ම නොවෙදෝ

 


අපේ පෙම් කතාවේ

හවසට තේ බොනකොට

පහළ නිම්නයක් 

පේනවා නේද


විරිතක් තාලයක් නැති

මගෙ වැරදි සිංදුවට

තාලෙ දෙනවා නේද


සීරියස් කතා මැද

විහිලුවක් එහෙමත්

අපිත් කළ යුතු නේද


තණ පලස වැතිරගත්

කඳු පාර වෙතට විත්

පහළ සානුව පුරා

හිත යවනවා නේද


එහෙම අහසක්  තියෙන 

පෙම් කතාවේ අපිත්

පුංචි පෙම් යුවළක්ව

හිනාවෙනවා නේද


කඳුකර වැසියෝ කඳු නගිති


මහා හෙල් ගිරි මුදුන්වල පිහිටා ලූ

එගම්දොර වෙත

ඔවුහු පයින් යති කිසිත් නොකියා මැසිවිලි

හති කඩමින් ඉසිඹු ලා

ගමන් මලු රැගෙන 

සර්ප වග වලස් කඳු අග

පිහිටා ⁣තිබෙන නිවසට


නොඅසන්න මහ කිවිඳ මාගෙන්

කවරක් ද උන් කරන කලා කටයුතු

නැත මා බඳින පිළිතුරු

උන් පළමුවෙන් හිරු දකින මිනිසුන්ය

මීදුමේ මල් පිපෙනු

සීතල තේ වතුර හා මුසු කරනු

දැක තිබේ මා


කලුවර පතිත වන විට කඳු මත

එමෙන්ම අරුණලු නැගෙන විට

පහළ නිම්නය දෙස බලා සිටිනා  

මා වෙත ගම්මු කියති

රැඳී නොසිට යනු යැයි

නගරයට


රඟහලක් පොත්හලක් විදුහලක් ඇති බිමද

⁣ඔබ කියන මහා ලොව තනා දෙන මා වෙතට

පහළ නිම්නය පෙනෙන ගම්බිමේ අසිරියට

නෙත් කෙවෙනි පාරවන ලස්සනය මට පුදුම


මෙකඳුකර වැසියෝ 

අඩි පාර ඔස්සේ 

කඳු නගින මිනිසුන් ය

එමග වෙත මම ද යමි

නැත අනෙක් අන් ගමන


Sunday, June 12, 2022

ප්‍රබෝධය....උදෑසන අයිතියයි


අරුණ ....අන්න ඉර ගෙනැවිත්

නින්දකින් සුවබරය කය මෙන් ම සිතත්

නිලැති ආකාසය දිලෙයි

විටමින් ඩී උදෑසනකි

ඔව් එහෙම කිව්වාම හොඳයි


ගල්පොතු යායේ ගඟ ගලන හඬ ඇසේ

කඳු මුදුනටත්

නව දවසේ අයිතිය ප්‍රබෝධයටයි

අලුත් දේ පරණ දේ

හරියටම කරන ආරම්භය මෙයයි


සුළඟේ කුඩා කිතියකි

කුඩා කඳු මුදුනේ

මේ සමනල කඳු වැටියේ


කාලයක් පුරා වැසි වැටී

උල්පත් සශ්‍රීක වී තිබේ

දිය උනන නිල තිබේ

බොහෝ ඇල දොළ පුරා


ප්‍රබෝධමත් මහ කිවිඳ

ඔබට ලිවිය හැකි සුන්දර කාලයයි

එම ඵලය ලැබගන්න

ප්‍රබෝධමත්ය....මේ උදෑසනේ අයිතියයි

පරණ පින්තූරයකට කලු සුදු පාට

 


අවරදිග සන්ධ්‍යාව

 



අවරදිග සන්ධ්‍යාව ඔබේ තුරුලට එමි මම
අරුණෝදය වේය කලබල 
දහසක් වැඩ ය
රත් පැහැ ගති ...පතුරුවා දසත ගිනි එළි
සන්ධ්‍යාව ඔබ
මේ නිවීමේ ආරම්භය වේය

හාත්පස භූමිබාගයේ සිට
අවරදිගට මා නික්මෙන
ගමන් මලු පවා අතැරය
උඩට නැගුණේ මා
බුමුතුරුණු සේ දිළෙන
හිරු එළි වැටී ගස් වැල
කඳුවැටි දිගට දිගු වේ
රත් පැහැ ගතී සත්තට

සද්දන්තයෝ සිය හොඬවැල නගා
කුඤ්චනාද ලන්නාහ
ගීතවත් ගිරා හීයක වේගෙන්
මගේ දෑස් ඉදිරියේ
අහස බෙදන්නාහ
අවරදිග සන්ධ්‍යාවේ
ශ්වේතය ඒ පක්ෂීහු රෑන
කෙත් වතුවලින් මිදී යන්නාහ
කොහේ හෝ යන්නෙය

මිත්‍ර මා අවරදිග 
ඔබ වෙතට ආ මිනිසෙක් වෙමි
නැත ගමන් ආපසු

Friday, June 10, 2022

පුංචි දූ

 

දුව නිදනා විට ගුලි වී

සිහින් කෙඳිරි නගන්නී

අනේ දුවේ හරි වැරදී

ලෝකය මැවු විදි පෙරදී


කුස බුරාන නගින ගිනි

කීතු කපන වේදනාව

ඇයි මට එය ගත නොහැකී

පුංචි දූට බෑ දුක් දී


නිවස පුරා සතුටු සිනා

මසක් පුරා රැව් පිළි දී

දවස් තුනක් නෑ සතුටක්

මුළු පවුලම දුක්මුසු වී

Thursday, June 9, 2022

වේද....නා

හිත දවා හදට ගත් මහමෙරකි මේ ශෝක

ළය ඝඨා කගපතේ ගලාලමි මේ රුහිර

රතු රුධිර ලේ පතින් පොවාලා යක් පෙමක

දුක් කන්ද මතින් පැන නසාගමි දිවි කැකුළ

ඈ දුරක....ඒකයි මේ ශෝකය




මේ රටේ දුර තැනක ඈ වෙසෙනවා මිතුර

සුවඳ හෝ රුවක්වත් නොමැත්තේ හිතසුවක

කඳුකරේ සීතලේ පාලුවට කවි ලියන

සබරගමු කුරුල්ලා මමය තනියම හිඳින


ගඟ ගලයි කඳු පහළ අහස කලුවර රැයෙක

හෝ හඬකි තනි මගක ගලන්නේ ඔය ගඟුල

වැසි නිතර වසීවා කියා පැතුවත් ඇයද

සීතලත් පාලුවත් බිඳින ඈ දුරු ගමක


කවි පොතක් කතාවක් තුරුලතට ගත් තරුණ

පෙම්වතෙක් ඉන්න බව දන්නවද ඒ සොඳුර

හිත පුරා අනාගත සිහිනයේ කිරුළ ගෙන

පළඳවා හැඩ බලන දිනක් පැමිණේ දුරක

sky hammer

 


Julian Talamantez Brolaski

I took my sky hammer &
pounded out a few choice
clouds, cirrus and I don’t know, nimbus
as in a god on earth
moving in space as a great auroral mist
a god who beholds the sparrows 
washing in the dusty gravel
of frankford avenue
giving me cause to rant or
giving me means to roll
ride with me in the shadowy afterworld
beyond the spider of a doubt
along a sidewalk littered w/ leaves
don’t be plain, said the cloud, find
the ornament that please you best
or elsewise, sugared in stars
go on and rail in a useless manner
against the inevitable dawntime
people of the dawn
come up drumming 
and beat on a pillow even
if a drum is not available
happy fortune, fortune has come round for you again
in this pocket world of a minor horned god 
I balanced my lunch 
in the arms of my ancestors
thomcord grapes and weeping cherries
they were my arms
lackadasic in the sky-sky-sky
holding their sky hammer
as if it were the baby buddha
and I thought, if there was a world beyond...
I could become one of those assholes 
who gets their sugar from fruit
and regard the one who points out my faults 
as a revealer of treasures
and regard the one who points out my faults 
as a revealer of treasures

Copyright © 2022 by Julian Talamantez Brolaski. Originally published in Poem-a-Day on June 9, 2022, by the Academy of American Poets.

Wednesday, June 8, 2022

මඩක ඔබලා මියැදුවේ දුව...නෙළුම් මල වී පිපෙන්නද



කුඩා දියණිය ඔබෙි ලෝකෙට

පුංචි හඳ එළි වැටෙනවා

මල් රුවින් ලොව නහව නහවා

සිඟිති මල් පොඩි පිපෙනවා

ශ්වේත දත් රුදු විළිස්සාලා

ඩ්‍රැක්‍යුලා ඔය ඇදෙනවා

මඩ කලල් පිරි අඳුරු කැලයෙන්

රක්ත රුධිරය ගලනවා


මඩක ඔබලා මියැදුවේ දුව

නෙළුම් මල වී පිපෙන්නද 

එමඩ ගොහොරුව ගිලින විට ඔබ

අහෝ යයි ලොව කිව්වද

කදුලු උරුමය පාපතර රට

මජර තරගෙක දුව දුව

වේදනා පිරි රටක් මැව්වෙ

සත්ව මළකුණු බුදිමින


ලංකාව නම් දියණියත් උන්

සදාකාලෙට කෙළෙස දැමුවා

මුලාදෑණිව අයිති කරගෙන

ණයට සින්නව විකුණ දැමුවා

ගැඹුරු දැනුමැති ලෝකයෙන් දුර

පාපතර පුස් රටක් හැදුවා

ඉරා හප කර කඩා ලේ මස

අනේ දියණිව මරා දැමුවා


Monday, June 6, 2022

අනේ වසින වැසි මද පොද...රාස්සිගේ අව්ව අස්සෙ

















අව්ව බදාගත් පින්නක්
හැන්දෑවට අරං එන්න 
රිදී ලොවක් සඳ පානක්
හැන්දෑවට වඩමවන්න
  
කඳු පෙනේවි මීදුම්බඩ
යාන්තමට ඉස්සීලා
අහස චූටි රේඛාවක්
කඩ ඉරකින් වෙන්වීලා
 
පහළ නිම්න කඳු මැද්දේ
ගංගාවට උඩින් එන්න
හැමි බිඳකම පිනි පුරෝන
ඉර එළියට කැඩපත් වී
 
අන්න පුළුන් වළා කැටින්
දුම් ගොබයට කැලතෙනවා
රිදී වැස්ස ඉර හඳ වී
හැන්දෑවම එකලු වෙනවා
 
සොඳුරිය ඔබ මින් පෙර දින
දුටුවේ නැහැ වන පියසෙහි
අනේ වසින වැසි මද පොද
දෝතට ගමි සිනා සිසී
x

වරෙං අර්බුදේ....ගෙට ගත් වී තිබේ



තලා පෙළා සැර වැර කර ගත් පොළියෙන්

මහන්සියෙන් හෝ ඉතුරුව ගත් මුදලින්

අනේ ගොඩගහන් වී මලු හිටි අඩියෙන්

වරෙං අර්බුදේ කියමින් සතුටු සිතිං


තියෙන වී ටිකත් උඹලා ගනිද්දී

පොලුත් හාල් වැඩි වැඩිපුර පුරද්දී

එදා වේල කන මිනිසුන් නැසෙද්දී

අනේ උඹලගෙත් නෑ වෙනසක් මැරෙද්දී


ඇත්ත බං ළමයි බඩගිනි කියද්දී

කොහොම මං අපිත් ඉන්න ද අඩද්දී

අලත් බතල වැල් ටිකවත් හාරද්දී

අනේ මැණික් වාගෙයි ඉඳිද්දී












අම්මගෙ අත....මා රකින සඳ





 අනේ මා අතින් වටකර

මා රකින මව් සඳට

තරු පිරි අහස පවරමි

පසලොස්වක ආදර මැද




මං ගැහැනිය ගැන ආයෙත් ලියන්නෙ නෑ...

අම්ම නිතරම කිව්ව දෙයක් තිබ්බා...බැරි වැඩ කරන්න එපා. අමාරු වැඩ කරන්න...ගැහැනිය ගැන පිරිමි මට ලියන්න බැහැ. ඒක හරි අමාරු [බැරි] දෙයක්. ඉතිං මං මගේ පෙම්වතිය ගැන විතරක් ලියන්න දැයි ඇසුවා...ඔව් මං දන්නවා. ඒ ලිවීම් බාගෙටයි කරන්න පුළුවන්..

Saturday, June 4, 2022

නිම්නය ළඟදි....මගේ සිත නැවතුනා

 ඇවතුම් ද පැවතුම් ද සිසිරයේ

ගෙන රැගෙන හමායන නිම්නයේ

මගේ සිත මගේ ලොව 

නැවතුනා නිම්නයේ


එති එතී  ගලන ඔය නිල දිලී

කව්ද නවතා වැව් බැඳී

රමණීය බව වැඩිය පුන් නදී

සුන්දරය ලෝකයේ නිල් නදී


යායට යායෙන් ගස් වැල් ඇදෙමින්

බිම් පස තණ පලසින් වසමින්

නෙත්  සිත් මල් පුබුදා තබමින්

නිම්නය හැමදා මා පුබුදා ලන්








අකුරු සියතට ගන්න....සිතිවිලිවලින් ඇමතුමක්

සිනාසෙන කවියක් අතින් අරගෙන පාර පැනපන් නගරයේ

කඩාගෙන යන මහා වාහන නතර නොකරයි මර ගොසේ

අනේ හෙමිහිට දකුණ වම දැක නෙ⁣ාරැවටීනම් මාවතේ

අකුරු සියතට ගන්න පෙම්වත සිතිවිලිය විමසයි කවි පොතේ


හරිත දලු මත උදේ ඇවිදින සිතක් ඇවිදින් අලුයමේ

රැයේ දුටු සිහිනයක් මැවිලලු පහළ වෙල්බඩග ගම්පෙතේ

උදලු තල හා නගුල් ලෙළවන ගොවි පුතෙක් නෑ නිම්නයේ

අනේ බිජු ඇති පැළව නැගුමට සී සාන්නට එනු මැනේ







Thursday, June 2, 2022

කලබල නොවෙමි

 මේ ඉක්මන දිහා බලමින් 

වී ගොඩගහන්න

කලබල නොවෙමි

පුංචි කොරටුවක

අල බතල ටික ඉන්දමි

එහා ගෙට මෙහා ගෙට

දෙන්න ඇති වෙන්නටත්


හදිසියේ කලබලේ අරගල කරන විට

ඉක්මන් ගමන් ඇයි සිතින් විමසමි

මෙවන් දේ හුග කලින් කී දවස

සිනාසුනු උන් වී ගෝනි පොදි ගසති


මේ අර්බුදය නොවේ ....මම සිතින් විමසමි

ඉතින් කලබල නොවෙමි

අරගලය මා සමග මම තවම සටනක්මි

ඊයේ පෙරේදා ඇරඹුණේ නැති හැඩකි


අරගලය අර්බුදය ඇරඹිලා නැති බවකි

ඊයේ පෙරෙදත් හොරකම්ම සිදු වෙමිනි

අහළටත් පහළටත් බතල දඩු බෙදා දෙමි

දුර මෙන්ම ළඟත් දැන් දැකිය යුතු බව දනිමි